අපේ ඇඟලුම් වෙළෙඳාම දැඩි අවදානමක

ඉන්දියානු රජය සහ යුරෝපා සංගමය අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම හේතුවෙන් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට බලපෑමක් ඇතිවීමේ ඉඩකඩ පවතින බව ඒකාබද්ධ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංසදය අනතුරු අඟවති.

ශ්‍රී ලංකාවෙන් වර්ෂයකට එක්සත් ජනපද ඩොලර් බිලියන පහක පමණ ඇඟලුම් විදෙස් රටවලට අපනයනය කෙරෙන බවද, ඉන් සියයට 30 ක් පමණ අපනයනය කෙරෙන්නේ යුරෝපා රටවලට බවද එම සංසදයේ විධායක කමිටු සාමාජික ඉන්දික ලියනහේවගේ පවසයි.

යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර එකඟතාවට පත්ව තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ඉන්දියාවෙන් යුරෝපා රටවලට අපනයනය කෙරෙන ඇඟලුම් සඳහා අයකරන තීරු බද්ද සියයට බිංදුවක් වන බවද ඔහු කීවේය. මේ නිසා මෙරට ඇඟලුම් යුරෝපා රටවලට අපනයනය කිරීමේදී වෙළෙඳපොළ ගැටලු තත්ත්වයක් උද්ගතවනු ඇතැයිද ඇඟලුම් අපනයනකරුවෝ පවසති.

යුරෝපා සංගමය විසින් මෙරටට GSP + සහනය ලබාදී තිබුණද, මෙරට ඇඟලුම් අපනයනය කිරීමේදී යුරෝපා රටවල්වලින් අය කරන බද්ද සියයට බිංදුවක් නොවන බවද ඇඟලුම් අපනයනකරුවෝ කියා සිටිති.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ එක්සත් රාජධානියේ වෙළෙඳ වැඩසටහනට (DCTS) අදාළ ප්‍රතිසංස්කරණවලට අනුව ඉකුත් වසරේ (2025) ජනවාරි මස පළමුවැනිදා සිට ලිහිල් කරන ලද වෙළෙඳ රීති/රෙගුලාසි ක්‍රියාත්මක කරයි. මේ අනුව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන නිමි ඇඳුම් අපනයන සඳහා එක්සත් රාජධානිය විසින් තීරු බදු රහිත ප්‍රවේශය සලසාදී තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත අනුව ඉකුත් වසරේදී (2025) ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට අපනයනය කරන ලද ඇඟලුම් සහ රෙදිපිළිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 5,300 කි. 2024 වසරේදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය කිරීමෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 5,051 ට ආසන්න අගයකි.

වෙළෙඳ භාණ්ඩ අපනයන කාර්ය සාධන දත්ත අනුව ඉකුත් වසරේදී (2025) එක්සත් රාජධානිය හැර යුරෝපා සංගමයේ (EU) රටවල්වලට ඇමරිකානු ඩොලර් මිලියන 3,108 කට ආසන්න අගයක ඇඟලුම් ඇතුළු භාණ්ඩ අපනයනය කර තිබේ. ඉකුත් 2024 වසරට සාපේක්ෂව එය සියයට 13.41 ක (දහතුනයි දශම හතරයි එක) වර්ධනයක් බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධව සාකච්ඡා ඇරඹෙන්නේ 2007 වසරේ සිට බව ආර්ථික විශ්ලේෂකයෝ කියා සිටිති. විවිධ හේතු මත එය දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොවීය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් එරටට අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50 ක පමණ ඉහළ තීරු බද්දක් අය කිරීම නිසා ඉන්දියාව යුරෝපා සංගමය සමග කඩිනමින් නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට හේතු පාදකවී ඇතැයි පැවසේ. එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය විසින්ද යුරෝපා රටවල්වලට නියම කරන බදුවල පවතින අවිනිශ්චිතතාව නිසාද, එම රටවල්ද ඉන්දියාව වැනි රටවල් සමග භාණ්ඩ අපනයනට අදාළව ගිවිසුම්ගත වීමට වැඩි අවධානයක් යොමුකර තිබෙන බවද ආර්ථික විශ්ලේෂකයෝ කියා සිටිති.

මේ තත්ත්වයන් යටතේ ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම බොහෝ දුරට මේ වසර තුළදී සිදු කෙරෙනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

මෙම වෙළෙඳ ගිවිසුම යටතේ යුරෝපා රටවල්වලින් ඉන්දියාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ඉන්දියාව විසින් අය කරන තීරු බද්ද සියයට 95 කින් පමණ අඩු කිරීමට, යුරෝපා රටවලට ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩවලින් අය කරන තීරු බද්ද සියයට 99 කින් පමණ අඩු කිරීමට නියමිත බවද පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *