කෙහෙළිය වරදකාරයා කරන්න, සුරසේනට තිබුණු හදිස්සිය මොකක් ද?

keheliya

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු ගැන කතන්දර එමට තියෙනවා. නමුත් ඒවා විහිළු කතා ගානට ගැනෙන්නේ, ඇත්ත ලෝකයේ එහෙම නඩු තීන්දු ලබා දීම, යුක්තිය පසිඳලීම සඳහා වර්තමාන ශිෂ්ට ලෝකය අනුගමනය කරන පිළිවෙතට එකඟ නොවන නිසයි.
නමුත් අවාසනාවකට තවමත් මේ කිං කැකිල්ලේ පන්නයේ නඩු තීන්දු, උත්තරීතරයි කියන අධිකරණයෙන් පවා නිකුත් වෙනවා.

නමුත් මේ තීන්දු කොච්චර වැරදි වුණත් මේවාට කවුරුවත් අභියෝග කරන්නේ නැහැ. මොකද ඒවා ගැන කතා කළොත් අධිකරණයට අපහාස කළා කියලා ඔ්නම කෙනෙක් සිරගත කිරීමේ අසමසම බලයක් මේ අධිකරණයට තියෙන නිසා. කොටින්ම මෙහෙම අධිකරණය අපහාස කළා කියලා තීන්දු ගන්න පැහැදිලි නීතියකුත් මේ රටේ නැහැ. අධිකරණය අවශ්‍ය විදිහට එවලෙට ගැලපෙන්න නීති හදාගෙන තමයි මේකත් වෙන්නේ. එහෙමට අසාමාන්‍ය අසාධාරණ අයුක්ති සහගත නීත්‍යනුකූල නොවන බලයක් මේ අධිකරණයට තියෙනවා.

ඒ නිසා මේවා ගැන කතා කරන්න වෙන්නෙත් අවුරුදු ගානකට හිරේ යන්න බලාගාගෙනයි. නමුත් මේවා කතා නොකර අත් අරින්න බැහැ. මොකද නීතිය සැමට සාධාරණය යුක්ති සහගත ලෙස ක්‍රියාත්මක වීම ශිෂ්ඨ සම්පන්න දියුණු රටක් ගොඩනැඟීමේ දී අත්‍යාවශ්‍ය සාධකයක් වන නිසා. නීතිය බල්ලට ගිය රටක් කවදාවත් හදන්න බැහැ.

මේ රටෙත් සමහර යුග තිබුණා අධිකරණය දේශපාලනිකකරණයට යට වෙච්ච. පාලකයාගේ වුවමණාවන් අනුව තීන්දු ලියන කාලයක් තිබුනා. පාලකයාගේ වුවමණාවන්ට විරුද්ධ වුණ අග විනිසුරුවරුන්වත් එලෙව්ව කාලයක් තිබුණා. සමහර විනිසුරුවරුන්ව සල්ලි වලට ගත්තා. තවත් සමහරුන්ව බ්ලැක්මේල් කළා, ගැහුවා තර්ජනය කළා.

නමුත් මේවා හැමදාම පැවැතුනේ නැහැ. වැරදි මජර පිළිවෙත් වෙනස් කරලා හැකි සෑම විටම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන්න උත්සහ ගත්ත ආණ්ඩු කාලයනුත් තිබුණා.

එහෙම කාල වල දී පාලක පක්ෂයේ මැති ඇමැතිවරුන්ට එල්ල වන චෝදනා හමුවේ අධිකරණට බලපෑම් කරලා ඒ අය බේරගන්න පාලකයන් උත්සහ කළ් නැහැ. චෝදනා නීතියට අනුව අධිකරණය හමුවේම විසඳගන්න ඉඩ හැරලා තිබුණේ.

එහෙම කාලයක දී තමයි ඔය කෙහෙලිය රඹුක්වැල්ලටත් නඩු වැටුනේ. ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටිය දී එල්ල වූ ව්‍යාජ ඖෂධ සම්බන්ධ චෝදනා මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම විමර්ශනයන් කරලා, අත්අඩංගුවට අරගෙන, නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම නඩු පවරන කොටත් කෙහෙලිය ආණ්ඩුවේ ඇමැති කෙනෙක්. ඒ නඩුව තවම මහාධිකරණයේ විභාග වෙනවා. කෙහෙළිය හිටපු ආණ්ඩුවෙන් කෙහෙළියව දේශපාලනිකව ආරක්ෂා කරන්න උත්සහ ගත්තත් අධිකරණයට ඇඟිලි ගහන්න ගියේ නැහැ.

ඒ අතර බාල බෙහෙත් ගෙනල්ලා මේ රටේ පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කළා කියලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැශනල් කියන NGO එකක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් දාලා තිබුණා. මේ NGO එක, පෙත්සම් ගහන එක ඒ අයගේ ජොබ් එක විදිහට කරන්නේ. මෙහෙම පෙත්සම් දානවට ඒ අයගේ විදේශ මුලස්ථානයෙන් ඩොලර් මිලියන ගනනින් මෙයාලට ගෙවනවා. ඒ මව් ආයතනය කල්පනා කරන්නේ මේ ලෝක වාසීන් හැම දෙනාටම සාධාරණ යුක්ති සහගත පැවැත්මක් සහතික කිරීමට තමන් මැදිහත් විය යුතුයි කියලා. ඒ වෙනුවෙන් අවංකව පෙනී සිටින දානපතියන් මේ ආයතනයට මුදල් ආධාර ලබා දෙනවා. එයින් කොටසක් තමයි මෙහෙ තියෙන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැශනල් කියන NGO එකටත් ලැබෙන්නේ. ඒ මුදල් දිගටම ලැබෙන්න නම් මේ අයට අවුරුද්ද පුරා මෙහෙම පෙත්සම් තොගයක් දාන්න ඔ්න. එහෙම දාපු එක පෙත්සමක් තමයි මේ බාල බෙහෙත් නඩුවත්.

මාර තීන්දුවක්

ඒ කොහොම හරි ශ්‍රේෂ්ඨාධිකරණය මේ NGO එක දාපු පෙත්සම විභාග කරලා පිටු 51ක් දිග නඩු තීන්දුවක් ඊයේ පෙරේදා ප්‍රකාශයට පත් කළා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ලියලා, කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා විනිසුරුවරුන්ගේ එකඟත්වයත් ඇතිව නිකුත් කරපු මේ නඩු තීන්දුව තරමක් ආන්දොලනාත්මක වුණා. නමුත් ඒක සෝඩා බෝතලය කැඩුව වගේ එවලෙට විතරයි සද්දේ ආවේ. කවුරුවත් ඒ ගැන දැන් කතාවක් නැහැ. මොකද මෙතැන මොක්ක හෝ අවුලක් තිබෙන බව බැලු බැල්මටම පෙනෙන්න තිබුණා.

ඒ වෙද්දි මෙහෙම නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙනවා කියලා ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. මාධ්‍ය වාර්තා දකින්නවත් තිබුණේ නැහැ.
අනෙක් කාරණය මේ පෙත්සමේ වගඋත්තරකාර පාර්ශ්වයන් විදිහට 50කට වැඩි පිරිසක් නම් කරලා තිබුණත් ඒ අතරේ හිටපු 5 දෙනෙකු විතරක් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා කරලා දඩ නියම කරලා තිබීමත් ප්‍රශ්නාර්ථයක් වුණා. කොටින්ම මේකේ පළවෙනි වගඋත්තරකාරයා වුණ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව නිදහස් කරලා තිබුණා.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය, හිටපු සෞඛ්‍ය ලේකම්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධානීන් දෙන්නෙකුට සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු ප්‍රධානියකුට විතරයි දඩ ගෙවිය යුතු බවට අධිකරණය නියම කළේ. ඒ අනුව කෙහෙලියට මිලියන 75 කුත් අනෙක් අයට මිලියන 50 ගනනෙත් රජයට ගෙවන්න කියලා තීන්දුව ලැබුණා.

මේ නඩුව ගැන දැනගෙන හිටපු නීති ක්ෂේත්‍රයේ අය නම් කියන්නේ නඩුවේ චෝදනා සහ ඒක විභාගයට ගත්ත විදිහ අනුව මෙහෙම තීන්දුවක් මෙච්චර ඉක්මනට ලැබීම ගැන පුදුම වෙනවා කියලා. කොටින්ම මේ ප්‍රකාශිත නඩු තීන්දුවේම මුල තියෙන කතාව නෙවෙයි අග තියෙන්නේ. ස්ථාවර දෙකක්. පරස්පර කතන්දර. ඒ වගේම වගඋත්තර කරුවන් 5 දෙනා කළ වරද මොකක් ද කියලා පැහැදිලි නැහැ.

මේක අගවිනිසුරුට තිබුණ වෙන මොක්ක හරි හදිස්සියකට ලියපු තීන්දුවක් බවයි නීතිවේදීන් පෙන්වලා දෙන්නේ. බොහෝ විට වර්තමාන ආණ්ඩුවේ දේශපාලනික වුවමණාවන් මත හෝ අගවිනිසුරුගේ පෞද්ගලික වුවමණාවක් මත හෝ මේ තීන්දුව ලියැවී තිබෙන බව මේ අය කියනවා. ඒ වගේම තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය වගේ තැනකින් මෙහෙම කිං කැකිල්ලේ පන්නයේ තීන්දු දෙන්න ගත්තොත් රටටම අබ සරණයි කියලා තමා මේ අය කියන්නේ.

තවත් නඩු පෝලිමකට නිමිත්තක්

ඒ වගේම මෙහෙම ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දු, අධිකරණ වල පුර්වාදර්ශයන් කර ගැනීම නිසා ඉදිරියේ දී තවත් හොද හොඳ සෙල්ලම් දකින්න ලැබෙන්නත් පුළුවන්.

මේ වන විටත් මේ ආණ්ඩුවේ ඇමතිලා ගනනාවකට එල්ලව වන වංචා දූෂණ චෝදනා, අකාර්යක්ෂම නාස්තිකාර වැඩ නිසා එල්ල වන චෝදනා වලටත් ඉදිරියේ දී මිනිස් අයිතිවාසිකම් පෙත්සම් වැටෙන්න පුළුවන්. ඔය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැශනල් කියන NGO එකෙන්ම, ආණ්ඩුවත් එක්ක දේශපාලනික ලැබැඳියාවක් නැතිනම්. මෙහෙම පෙත්සම් දාන්න බැරි කමක් නැහැ.

විශේෂයෙන්ම කුමාර ජයකොඩිගේ බාල ගල් අගුරු වංචාව නිසා මේ වෙන කොට රටට සිදු ඇති පාඩුව, ඒ පාඩුව විදුලි පාරිභෝගිකයන් සියළු දෙනාටම ගෙවන්න සිදුව තිබීම , නලින්ද ජයතිස්ස‌ගේ ඉන්දියානු බාල බෙහෙත්, ඉන්දියාව එක්ක ගහපු හොර ගිවිසුම්, අඩු මිළට ගෙන ආපු ඉන්ධන රටේ තිබිය දී, මිළ සුත්‍රය කියාත්මක නොකර ඒවා වැඩි මිළට විකිණිම, වගේ සිදුවීම් වලට පහසුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් පිට පෙත්සම් වැටෙන්න පුළුවන් වගේම අධිකරණයේ පූර්වාදර්ශය අනුව කිං කැකිල්ලේ පන්නයේ තීන්දු ලැබීමේ සම්බාවිතාවයත් ඉතා ඉහළයි.

මූලික අයිතිවාසිකම් චෝදනා හරි සරළයි, ඔ්න කෙනෙකුට තමන්ගේ අයිතිවාසිකම්ක් කඩ වුණා කියලා නඩු දාන්න පුළුවන්. නමුත් මේ අයිතිවාසිකම් කියන එ්වා නීති පොතේ හැටියටම විසඳන් බැහැ. රජයට හෝ ආණ්ඩුවට හදිස්සි තත්වයන් එකක් සමහර තීන්දු ගන්න වෙනවා. නීති පොත් වල තිතයි කොමාවයි බල බල තීරණ ගන්න බැරි අවස්ථාවන් එනවා.

ඒත් මෙහෙම පුරවැසියන්ගේ යහපතම වෙනුවෙන්ම හදිසි අවශ්‍යතාවයක් මත අවංකව, සද්භාවයෙන් නීතියට පිටින් මොනාහරි කළත් ඒකත් අධිකරණයට අනුව දඩුවම් ලැබිය හැකි වැරැද්දක් වෙන්න පුළුවන්. එහෙම වෙච්ච නඩුත් ඔ්න තරම් තියෙනවා. ඉදිරි කාලයේ දී ත් ඒ වගේ නඩු තොගයක් දකින්න ලැබෙයි.

ඒ වගේම සාක්ෂි වලින් වැරදි තර්ක මතු කරලා තීන්දු දෙන වැඩෙත් අධිකරණට පහසුවෙන් කරන්න පුළුවන්.

විකාර තර්ක

මේ SCFR 65/2023 කියන බාල බෙහෙත් නඩු තීන්දුවේ එක තැනක සඳහන් කරනවා, සෞඛ්‍ය ලේකම්වරයා 2024 සැප්තැම්බර් මාසයේ දුන්න දිවුරුම් ප්‍රකාශයක් අනුව 2024 සැප්තැම්බර් වල කිසිම බෙහෙත් හිඟයක් තිබුණේ නෑ කියලා, ඒ නිසා නිසා 2022 දී බෙහෙත් හිඟයක් තිබුණාය කියන එක මවාපාන ලද බොරුවක් බවයි අධිකරණ කියන්නේ. මේක මාර වැඩක්.

2022 ආර්ථික අර්බුදය එක්ක රට බංකොලොත් වෙලා මිනිස්සු බෙහෙත් පෙත්තක් හොයා ගන්න පෝලිම් වල ඉන්න කාලේ තමයි කෙහෙලිය, ඉන්දියානු ණය ආධාර යටතේ ලැබුණු සල්ලි වලින් හිඟ බෙහෙත් ගෙන්වන්න කැබිනට් අනුමැතිය ගන්නේ.

හැබැයි අධිකරණයට අනුව 2024 සැප්තැම්බරයේ බෙහෙත් හිඟයක් නොතිබුණු නිසා, 2022 දී ත් බෙහෙත් තිබිය යුතුයි. මේ වගේ විකාර තර්ක මතු කරන්න පුළුවන් පිස්සෙකුට විතරයි.

ඒ වගේම, මේ තීන්දුවේ කොහෙවත්, හිටපු සෞඛ්‍ය ලේකම් සහ අනෙක් නිලධාරීන් තුන්දෙනා තියා ඇමැති කෙහෙලියවත් මේකට වගකියන්න ඕන කොහොමද කියලා කිසිම සඳහනක් නැහැ. නීති තර්කයක් නැහැ.

හරි නම් බාල බෙහෙත් ටෙන්ඩරය වංචාවක් නම් එවකට ජනාධිපති අගමැති ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම වගකියන්න ඔ්න. එයාලා තමයි ඒ ටෙන්ඩරය අනුමත කළේ. කෙහෙලිය කළේ සෞඛ්‍ය අංශ නිලධාරීන් බෙහෙත් නැහැ කියන කොට, ඒ හිඟය සම්පූර්ණ කරන්න නීතිමය ප්‍රතිපාදන සහ මුල්‍ය ප්‍රතිපාදන වලට රජයේ අවසරය අරන් දෙන එක. ටෙන්ර් කැඳවලා සමාගම් තෝරා ගත්තේ නිලධාරීන්.

මෙතැන වගඋත්තරකාරයෝ 50කට වැඩිය සිටිය දී 5 දෙනෙක් විතරක් වැරදි කාරයන් කියලා වෙන් කරගත්ත විදිහ මේ තීන්දුවේ නැහැ. මේ චෝදනාවට අදාලව මහාධිකරණ නඩුවේ වගඋත්තර කාරයන් 12 හරි ඉන්නවා. ඒ කියන්නේ ඒ චූදිතයන්ගෙනුත් සෑහෙන ප්‍රමාණයක් ඒ නඩුවේ තීන්දුව එන්නත් කළින් ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කරලා. සමහර විට මේ තීන්දුව නිසා ඒ නඩුවටත් බලපෑමක් වෙන්න පුළුවන්.

ඒ වගේම මේ තීන්දුවේ කොහෙවත් නැහැ එල්ල වන චෝදනා වලට වගඋත්තරකාරයෝ දක්වපු නිදහසට කරුණු මොනවද කියලා.

ඒ ගැන හිතන්න වෙන්නේ වගඋත්තර කරුවන්ගෙන් කරුණු අහන් නැතුව ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ලියලා කියන එක. අඩුම තරමින් මේ වගඋත්තර කාරයෝවත් දන්නේ නැතුව ඇති තමන් කරපු වැරැද්ද මොක්ක ද කියලා. තමන් දඩ ගෙවන්න ඔ්න මොන වැරැද්ද කළාටද කියලා දැන ගැනීමේ අයිතිය ඒ වගඋත්තර කරුවන්ට තියෙනවා. මේ නඩු තීන්දුවෙන් ඒ අයිතියත් අහිමි කරලා තියෙන්නේ.

මේවගේ කිසි සාධාරණ පදනමක් නැතිව, හදිස්සියේ, හරියට නඩුවවත් අහන් නැතිව, නඩු තීන්දු ලියවෙන්නේ එක්කෝ දේශපාලනික හේතු මත, නැතිනම් සල්ලි වරප්‍රසාද තනතුරු වලට ආසාවෙන්, ඒත් නැතිනම් මානසික ලෙඩක් මත.

මේවා ගැන නීතිගරුක සමාජයකට නිහඬව සිටිය නොහැකියි. මේ ප්‍රශ්න කළ යුතුයි. අඩුම තරමින් පාර්ලිමේන්තුවේ දී වත් මේ විකාර, අසාධාරණ තීන්දු ගැන ප්‍රශ්න කළ යුතුයි. පාර්ලිමේන්තුවට ඒ අයිතිවාසිකම තියෙනවා. ඒකවත් නොවෙනවා නම් ආයෙත් කියන්න තියෙන්නේ මේ රටට අබ සරණයි කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *