රටක යුක්තිය පසිඳලීමේ කාර්යය නියමාකාරයෙන් සිදු වෙනවා නම්, ඒ යුක්තිය ඉටු වෙන බව පෙනෙන්න තිබුණටම මදි. ඒක රටේ නීතියට අනුව, ප්‍රමාදයකින් තොරව සිදු විය යුතුයි. යුක්තිය ඉටු කරනවා කියලා පැමිණිල්ලට හෝ විත්තියට අවශ්‍ය විදිහට දේශපාලන බලය හෝ මැර බලය පාවිච්චි කරලා, නීතිය හතරට පහට නවලා, අධිකරණය රූකඩයක් වගේ නටවලා තීන්දු තීරණ ගැනීම නොවිය යුතුයි. කොටින්ම ‘නීතිය’ පාලකයන්ගේ ආයුධයක් නොවිය යුතුයි. ‘අධිකරණය’ පාලකයන් විසින් නටවන රූකඩ මඩුවක් නොවිය යුතුයි.
හැබැයි දැන් මේ රටේ යුක්තිය පසිඳලීමේ නාමයෙන් නැතිනම් වර්තමාන ආණ්ඩුවේ හොරු ඇල්ලීම කියන සංදර්ශනයට අනුව, වැඩේ සිද්ධ වෙන්නේ විය නොවිය යුතු ආකාරයකට.
පසුගිය කාලය පුරා නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ දේශපාලනික පක්ෂාග්‍රාහී භාවය හෙළිව තිබුණා. ඒ වගේම නීතිමය කටයුතු වල දුර්වලතාවයන් වගේම ඇතැම් චූදිතයන් බේරාගැනීම සඳහා කරන වටවංගු ගැසීම් පෙනෙන්න තිබුණා.
මේ වගේම මේ වෙන කොට අල්ලස් කොමිසම සැකකරුවන්ට එරෙහිව ගොනු කරන චෝදනා ප්‍රමාණයට සමානවම හෝ ඊටත් වැඩියෙන් අල්ලස් කොමිසමේ සෘජු දේශපාලනික පක්ෂග්‍රාහීත්වය සහ අනීතික මැර වැඩ ගැනත් චෝදනා එල්ල වෙනවා.
බොරු චෝදනා එල්ල කිරීම්, සාක්ෂිකරුවන්ට මරණීය තර්ජන පවා කරමින් බොරු කටඋත්තර ලබා ගැනීමේ අවස්ථා ගනනාවක්ම වර්තා වී තිබුණා. පසුගියදා මේ බව ප්‍රසිද්ධියේ, නොබියව හෙළිදරව් කිරීමට ශ්‍රීලංකන් එයාර් සමාගමේ හිටපු නිලධාරීයකු වන කපිල චන්ද්‍රසේන ඉදිරිපත්ව සිටියා.
ඔහු අධිකරණයට දිව්රුම් පෙත්සමක් මාර්ගයෙන් තමන්ට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දසනායක විසින් බොරු සාක්ෂි ලබා දෙන ලෙස සිදු කළ මරණීය තර්ජනය ගැන හෙළි කළා. ඒ වගේම මෙහි දී හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම සිදු කරන මුල්‍ය විශුද්ධිකරණ චෝදනාවකට අදාලව වැදගත්ම සාක්ෂි කරුවකුට සිදු කළ බලපෑම නිසා ඔහුට සිය දිවි හානිකර ගැනීමට සිදුව තිබු බවත් හෙළිව තිබුණා.
කපිල චන්ද්‍රසේන විසින් මෙම සිදු වීම හෙළිකරණ තෙක් මේ සාක්ෂිකරුවාට දිවි නසා ගැනීමට සිදුව තිබුණේ කවර හේතුවක් නිසාද යන්න ප්‍රසිද්ධියට පත්ව තිබුණේ නැහැ.
එම සාක්ෂිකරුවා අත්අඩංගුවට ගෙන අඩන්තේට්ටම් වලට පත් කර, බොරු කටඋත්තර ලබා දෙන ලෙස අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් බල කර තිබෙනවා. එසේ නොවුණහොත් ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් සිදු වන විනාශය ගැන ඔහුව බියට පත්කර තිබුණා.
ඔහු දෙන බොරු සාක්ෂිය පදනම් කරගෙන ඔහුට චෝදනාවෙන් සම්පූර්ණයෙන් නිදහස් විය හැකි බවත් ඒත්තු ගන්වා තිබුණා. එසේම එම නඩුවේ රජයේ සාක්ෂි කරුවකු ලෙස ඔහුව නම් කරන බවටත් පොරොන්දු වී තිබුණා.
නමුත් ඔහුගේන් බොරු ප්‍රකාශයක් ලබා ගත්ත, අල්ලස් කොමිසම, අධිකරණ හමුවෙවේ අධි චෝදනා ගොනු කිරීමේදී මෙම සාක්ෂිකරුවාවත් ප්‍රධාන චූදිතයකු කර තිබුණා. ඒ අනුව බොරු සාක්ෂි ලබා දීම සහ තමන්ට විය හැකි අනතුරු ගැන බරපතල වේදනාවට පත්ව සිටි මෙම සාක්ෂි කරුවා පසුව සිය නිවසක දී ගෙලවැලලාගෙන සිය දිවි නසා ගෙන තිබෙනවා.
මේ මරණයෙන් පසුවත් අල්ලස් කොමිසම අධිකරණය කරුණු දැක්වූයේ රඹුක්වැල්ල පාර්ශ්වයේ බලපෑම් මත ඔහු දිවි නසාගත් බව ඒත්තු ගැන්වීමටයි. නමුත් අල්ලස් කොමිසම බලහත් කාරයෙන් ඔහුගෙන් සාක්ෂි ලබා ගත් බවත් ඇතිවූ සිත් වේදනාව මත දිවි නසා ගැනීම සිදුව තිබෙන අධිකරණ හමුවේම දිග හැරුණා. ඒ වගේම අල්ලස් කොමිසමේ මේ දහදුරා වැඩ ගැන අධිකරණයේ දෝෂ දර්ශනයට ලක් වුණා.
කොහොම නමුත් අල්ලස් කොමිසම මේ විදිහට තර්ජන ගර්ජන කරමින් තමන්ට අවශ්‍ය ලෙස සාක්ෂි ලබා ගන්නා බවට තවත් චෝදනා රැසක්ම තිබෙනවා. ඒ චෝදනා ගැන මාධ්‍ය මඟින් හෙළි නොවුවත් මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට එවැනි පැමිණිලි ගනනාවක්ම ලැබී තිබෙනවා.
ඒවගේම ආණ්ඩුවේ දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් අපරාධ විමර්ශනයේ නාමයෙන් ඉතා පක්ෂාග්‍රාහී ලෙස කටයුතු කරමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරුද්ධවත් මානව හිමිකම් කොමිසම හමුවෙත්, පොලිස් කොමිසම හමුවෙත් පැමිණිලි කිහිපයක්ම තිබෙනවා. සාක්ෂිකරුවන්ට තාඩන පීඩන එල්ල කර බලපෑම් කිරීම සම්බන්ධ චෝදනා රැසක් තිබෙනවා. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටින ලෝකල් ෂර්ලොක් හොම්ස් කියන ශානි අබේසේකර නැමැති නිලධාරීයාට, බොරු සාක්ෂි ගෙතීම් සහ තර්ජන ගර්ජන කර බොරු සාක්ෂි ලබා ගැනීම ගැන ඔහුගේ වෘත්තීය ඉතිහාසය පුරාමත් චෝදනා රැසක් තිබෙනවා. ඔහු ලෝකල් ෂර්ලොක් හොම්ස් වුණේම වැරැද්දට සම්බන්ධ නැති මිනිස්සුන්වත් හිරේ යවලා. ඒවා ගැන නඩු ගොඩකුත් තියෙනවා.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය සිදු කළ කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඇති ව්‍යාජ ඖෂධ සම්බන්ධ චෝදනාවට අදාල විමර්ශන වලදී සිදු කළ වැරදි අඩුපාඩු කම් හෝ හිතාමතාම අධිකරණ නොමඟ යෑවීම් ගැනත් චෝදනා එල්ල වී තිබෙනවා.
මේ නඩුව මේ වන විට දිනපතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් හමුවේ විභාග වෙනවා. මේ චෝදනා එල්ල වන කාලයේ මෙය විශාල ආන්දොලනාත්මක සිදුවීමක්ව තිබුණා. මාධ්‍ය වල ඉහළින්ම මේ ගැන දිනපතා වාර්තා කළා. නමුත් මේ වන විට දිනපතා විභාග වන මෙම නඩුවේ සත්‍ය තොරතුරු මාධ්‍යයක දෙකක හැරෙන්න වාර්තා වන්නේ නැති තරම්.
සමහර විට එදා කෙහෙළිය රඹුක්වැල්ලට මාධ්‍ය විසින් එල්ල කළ බරපතල චෝදනා අනුව දැන් නඩුවේ තොරතුරු වාර්තා කිරීමට ගියහොත්, තමන් එදා ජනතාව නොමඟ යවමින් සිදු කළ බොරු ප්‍රචාරයන් හෙළි වෙනු ඇතැයි ලැජ්ජාවට මේ නඩුවේ තොරතුරු වාර්තා කිරීම මඟ හරිමින් සිටිනවාද විය හැකියි.
කොහොම වුණත් බොහෝ විට අධිකරණ විසින් මෙම නඩුව විසිකර දැමිය හැකි තරමට දේවල් මේ නඩු විභාගයේ දී මේ වන විටත් හෙළිව තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ නඩුව මෙහෙයවන ආකාරය ගැනත් අධිකරණයේ දෝශ දර්ශනයට පත්ව තිබෙනවා.
පසුගිය දින වල ව්‍යාජ බෙහෙත් ජාවාරමට සෘජුව සම්බන්ධ වූ ඇත්ත චූදිතයන් සහ තවත් වැදගත් සාක්ෂිකරුවන් රැසක් මෙම නඩුවෙන් ඉවත් කර ඇති බවත් හෙළි වුණා. මේ ඇතැම් අය මේ දක්වා ප්‍රශ්න කිරීමකටවත් ලක් කර නැහැ.
මේ අතර චෝදනා ඔප්පු කිරීමට කැඳවූ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින්ම, පැමිණිල්ලේ තර්ක බිඳ හෙළන සාක්ෂි දෙමින් සිටිනවා.
ඒ වගේම සාක්ෂි කරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙන වැදගත් සාක්ෂි සඟවා ඇති බවත් ඊයේ පෙරේදා හෙළි වුණා.
පසුගිය දින සති දෙක පුරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරියක් සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබුණා. මෙහි දී ඇයගේ සාක්ෂිවල පරස්පරතාවයන් සහ ඇය විසින් කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් සාක්ෂියේ ලිඛිත පිටපත් විත්තිකාර පාර්ශ්වයට හෝ අධිකරණට ඉදිරිපත් නොකර සැඟවීමට කටයුතු කර තිබු බවත් හෙළි වුණා.
ඇය අධිකරණ හමුවේ සිදු කළ ප්‍රකාශයක් අනුව විත්තියේ නීතිඥවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අධිකරණයේ දී මේ බව හෙළි වුණා. එමෙන්ම මෙම විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ගෙන්වා ප්‍රශ්න කිරීමේ දී මේ බව තහවුරුව තිබුණා.
මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් තමන්ට අවශ්‍ය විදිහට, ආණ්ඩුවේ දේශපාලනික වුවමණාවන් අනුව නඩු විසඳාගන්න කටයුතු කරන්නේ මේ විදිහටයි. අල්ලස් කොමිසමත් ඊට දෙවෙනි නැහැ. සාක්ෂි කරුවන් මරලා හරි නඩු තීන්දු ගන්නයි බලන්නේ. මේ යන විදිහට අධිකරණ විනිසුරුවරුන්ටත් මරණ තර්ජනය කරලා නඩු තීන්දු ලියවා ගැනීම වෙන්න බැරි නැහැ.
අධිකරණ ස්වාධීනව යුක්තිය පසිඳලීමේ කාර්යභාරය ඉටු කරනවා නම්, මේ නඩු බොහොමයක් විභාගයටවත් නොගෙන විසි කර දැමීම විය හැකිව තිබෙනවා. මේවා දේශපාලනික අරමුණු සහිතව ගොතන ලද බොරු චෝදනා වලින් සමන්විත බොරු නඩු බව තේරුම් ගන්න, නීති විභාග පාස් කළ යුතු නැහැ. නඩු අහන්න පටන් ගන්න කොටම කරන බොරුව පැහැදිලි වෙලා ඉවරයි.
මේ අනුව නීතිපතියේත්, අල්ලස් කොමිසමේත් පොලීසියේත් සහ ආණ්ඩුවේ වැඩ බැරි දාසලාගේ වුවමණාව වන්නේ, තමන්ගේ බලය පවත්වා ගැනීම වෙනුවෙන් අධිකරණයත් විහිළු රූකඩ සංදර්ශනයක් බවට පත් කරගෙන හෝ මේ කෙටි කාලය ගෙවා ගැනීම බව මේ වන විට පැහැදිලියි.
නමුත් දේශපාලන වේදිකා වල මාධ්‍ය වල විරුද්ධ පක්ෂ නායකයන්ට කවර චෝදනා එල්ල කළත්, නීතිය ක්‍රියාත්මක කරවන ආයතන වලට පැමිණිලි කළත්, අත් අඩංගුවට ගැනීම් රිමාන්ඩ් කිරීම් සිදු කළත්, රටේ නීතිය අනුව යුක්තිය පසිඳලීම නියමාකාරයෙන් කරන ස්වාධීන අධිකරණයක් හමුවේ දී ඒ තක්කඩි වැඩේ දිගටම කරන්න බැහැ.
එහෙම වෙන්න නම් අධිකරණයත් ඒ දේශපාලනික කුණු වළේම කොටසක් විය යුතුයි.
