සුරසේන ස්වාධීන අධිකරණයට ගිනි තියයි. කෑළෑ උසාවියක් පිහිටුවයි

පසුගිය සිකුරාදා දින  (20 ) අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ගේ ප්‍රධානත්වයෙන් නව ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ රැස්වීම් ශාලාවක හවස 4 ට මහාධිකරණ විනිසුරුවන් කැඳවා සිදු කළ රහසිගත රැස්වීම සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රය කැළඹීමට පත්ව තිබේ.

මෙම රැස්වීම් සඳහා මෙරට මහාධිකරණ විනිසුරුවන් 10 දෙනා වන මංජුල තිලකරත්න , ලාල් බණ්ඩාර , රශ්මි සින්ගපුල්ලි , ලංකා ජයරත්න ,රශාන්ත උඩුවෙල ,මොහොමඩ් මිහාල් ,නදී සුවදුරුගොඩ ,උදේෂ් රණතුංග ,බුද්ධික ශ්‍රී රාගල ,රවින්ද්‍ර ප්‍රේමරත්න යන මහාධිකරණ විනිසුරුවරයන්ට අමතරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් සහ  අගවිනිසුරුවරයාගේ ලේකම් වන ආනන්දී කනගරත්න ද සහභාගී වී තිබේ.  

මෙහිදී අගවිනිසුරු වරයා, මහාධිකරණ විනිසුරුවරුන්ට අවධාරණය කර ඇත්තේ මේ වන විට විපක්ෂ දේශපාලකයන් සහ වෙනත් ආන්දෝලනාත්මක සිදු වීම් සම්බන්ධයෙන් පවතින නඩු විභාග ඉතා කඩිනමින් අවසන් කළ යුතු බවයි. මෙරට අධිකරණය ක්‍රියාවලිය තුළ නඩු ඇසීම වසර ගනනින් ප්‍රමාද වන බැවින් ඒවා කඩිනම් කිරීම විය යුතුය. එය යුක්ති සහගත ඉල්ලීමකි.

ජනපතිගේ නියෝගයක්

නමුත් ඉන් පසුව අගවිනිසුරුවරයා මෙම රැස්වීමේ සැබෑ අරමුණ අවධාරණය කර ඇත. ඒ අනුව විපක්ෂ දේශපාලකයන්ට එරෙහිව ඇති නඩු වලදී එම කිසිදු චූදිතයකු නිදොස් කොට නිදහස් නොවිය යුතු බව පවසා ඇත. එනම් චූදිතයන් සියළු දෙනාම වරදකරුවන් කර දඬුවම් පැමිණ විම සිදු කළ යුතු බව දැඩිව පවසා ඇත.

එය ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ අවශ්‍යතාවය වන බවත්, ඒ බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවත් අවධාරණය කර ඇති අගවිනිසුරුවරයා, ඒ අනුව කටයුතු කිරීම තම තමන්ගේ වෘත්තීය ජීවිතයේ ඉහළට යාමට හේතු වන බවත් පෙන්වා දී ඇත.

මෙහිදී තමාගේ උපදෙස් නොතකා වැඩ කළ විනිසුරුවරුන්ට ලැබුණු දඬුවම් ගැනද අගවිනිසුරුවරයා පෙන්වා දී ඇත. ඒ අනුව දුමින්ද දිසානායක මහතා ගේ රත්තරන් රයිෆලයේ නඩුවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මත, නඩුව විසිකළ කළ  චතුරිකා ද සිල්වා විනිසුරුවරියට උස්ස වීම් සම්බන්ධ සම්මුඛ පරීක්ෂණයට හෝ සහභාගී වීමේ අවස්ථාව නොලැබුණු බවත්, එසේම අල්ලස් කොමිසම විසින් පැවැරූ නඩු ගනනාවක් සම්බන්ධයෙන් චූදිතයන්ට ඇප ලබා දීමට කටයුතු කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ලෙස සිටි තනුජා ලක්මාලි විනිසුරුවරියට ලැබීමට නියමිතව තිබු උස්ස වීම නොලැබී ගිය බවත් පෙන්වා දී තිබිණි.

මේ අනුව මෙම ආණ්ඩුවේ සහ අගවිනිසුරුවරයාගේ නියෝග වලට අවනත නොවී, නීතිය අනුව යුක්තිය පසිඳලීම සිදු කිරීම නිසාම, ඔවුන්ගේ උසස් වීම් වලට අවම වශයෙන් සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිටීමේ අවස්ථාවක් අහිමි කර ඔවුන්ට දඬුවමකට යටත් කර ඇති බව පැහැදිලිය.

දැනට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාව සිටින අසංක බෝදරගම ටද මෙවැනි දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවටත් දැන ගැනීමට තිබේ.

තවද අගවිනිසුරුවරයා මෙම විනිසුරු මඩුල්ලට අණ කර සිටියේ සඳුදා දින පස්වරු 4 ට පෙර ඔවුනොවුන්ගේ උසාවි වල ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නඩු කටයුතු පවතිනවා නම් ඒවායේ ලැයිස්තුවක් ඔහුට ලැබෙන්න සලස්සවන ලෙසය.

නීතී ක්ෂේත්‍රයම කැළඹෙයි

කොහොම නමුත් පසුගිය සිකුරාදා දින පැවැති මෙම සාකච්ඡාවෙන් පසුව මේ ගැන තොරතුරු අධිකරණ ක්ෂේත්‍රය පුරාම ලැව් ගින්නක් සේ පැතිර ගොස් තිබිණි.

අධිකරණ ක්ෂේත්‍රය තුළ විශේෂයෙන්ම ඉහළ අධිකරණ වල ජේෂ්ඨ විනිසුරුවරුන්ටත් අගවිනිසුරුවරයාගේ මේ නීති විරෝධි, සදාචාරාත්මක නොවන නියෝග සහ එමඟින් මෙරට දශක ගනනාවක් තිස්සේ රැකගෙන ආ අධිකරණයේ ස්වාධීන්වයටත් එල්ල වන බලපෑම් ගැනත් කතා බහට ලක් වී ඇත.

මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ දැඩි කනස්සල්ල පළ වී තිබූ අතර, මේ තත්වය මත තමන්ටත් නුදුරේම තමන්ටත් නඩු විසඳන්න වෙන්නේ අගවිනිසුරුවරයාගේ දේශපාලන වුවමණාවන් අනුව බව පවසා ඇත.

එම නිසා අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධයෙන් තමන්ටත් කඩිනම් පියවරක් ගැනීමට සිදු විය හැකි බව ජේෂ්ඨ විනිසුරවරුන් තිරණය කර තිබේ. මීට මාසකට පෙරාතුවත් තමන්ට එල්ල වන බලපෑම් සම්බන්ධයේ අධිකරණ විනිසුරුවන්ගේ සංගමය විසින් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

කොහොම නමුත් මෙරට අධිකරණ ඉතිහාසයේ අගවිනිසුරුවරයකු කිහිප දෙනෙකු තමන්ගේ වෘත්තීය ගෞරවය මෙලෙස කෙළසාගෙන තිබු නමුත්, මෙතරම් නිර්ලජ්ජිත ලෙස සෙසු විනිසුරුවරුන්ටත් බලපෑම් කරමින් අතිශය පක්ෂාග්‍රාහී ලෙස කටයුතු කළ වෙනත් අගවිනිසුරුවරයකු ඉතිහාසයේ සිටියේ නැත.

සේවා දිගුවක් ගන්නයි මේ කැත වැඩ

මේ අතර අගවිනිසුරු සූරසේන මෙලෙස කටයුතු කරන්නේ තමන්ට සේවා දිගුවක් ලබා ගැනීම වෙනුවෙන් බවත් අධිකරණ ක්ෂේත්‍රයේ කසු කුසුවක් තිබේ. ඔහුගේ සේවා කාලය මේ වසරේ නොවැම්බර් මාසයේ අවසන් වීමට නියමිතය. අගවිනිසුරුවරයා මෙලෙස හැසිරෙන්නේ බොහෝ විට ඔහුට සේවා දිගුවක් ලබා දෙන බවට ආණ්ඩුව දැනටමත් පොරොන්දු වී තිබීම නිසා විය හැකිය.

ඊයේ පෙරේදා අධිකරණ ඇමැතිවරයා වත්මන් අගවිනිසුරුවරයා ඉතා වේගයෙන් නඩු අසමින් සිටින ටොප් බඩුවක් බව කීවේ, නුදුරේම අගවිනිසුරුවරායා ආණ්ඩුවේ දේශපාලනික වුවමණාවන් අනුව නඩු ඇසීමට එකඟවී සිටීම නිසා විය හැකියි.

ඒ අනුව ජනාධිපති ධුරයේ බලයත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් පාවිච්චි කර අගවිනිසුරුට සේවා දිගුවක් ලබා දීම අපහසු කාරණයක් නොවේ. නමුත් අධිකරණය බල්ලට යෑම අනිවාර්යය.

කොහොම නමුත් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ස්වාධීන අධිකරණ ක්‍රියාවලිය රැක ගැනීමට නොවේ. බලයට එ්මට පෙර කිව්වෙත් කෑළෑ උසාවියේ නඩු අසා හෝ හොරු හිරේ දමන බවයි.

නමුත් හොරු අල්ලන්න ආපු ආණ්ඩුවට තමන් හොරා හොරා කිව් අයෙකුට එරෙහිව, රටේ නීතිය ප්‍රකාරව තවමත් හරි හමන් නඩුවක් හෝ දමා ගැනීමට නොහැකි වීම නිසා ජනතාව හමුවේ බොරු කාරයන් වී සිටියි.

කැළෑ උසාවි තීන්දු

මේ වන විට අධිකරණ හමුවේ විභාග වන පසුගිය ආණ්ඩු සමයන් වලදී වැටුණු නඩු හෝ ඉක්මනින් අවසන් කර චුදිතයන් වැරදි කාරයන් කර සිරගත කරවීම, ආණ්ඩුවේ පිරිහී ඇති දේශපාලන සෞඛ්‍යයට තිබෙන එකම බෙහෙත බව ආණ්ඩුව තීරණය කර ඇතිවාට සැක නැත. හැමදාමත් ලබන සතියේ රොත්තක් හිරගෙට යවනවා කෙඳිරි ගාන්න එපා කියමින් සිටියා මිසක් කිසිවක් සිදු වුනේ නැත.

ඒ අතර තමන්ට ඔ්නෑ ලෙස තීන්දු නොදීම නිසා අධිකරණයට දැඩි බලපෑම් කරමින් සිටින බවටත් තොරතුරු හෙළිවිය. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දසනායක ද පසුගිය දිනවල දී  විනිසුරුවන් හමුවී බලපෑම් කළ බවට තොරතුරු හෙළිව තිබිණි.

මේ වන විට අධිකරණය හමුවේ ඇති පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ නඩුව, කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහි නඩුව සහ තවත් නඩු කිහිපයක් සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයන්ගේ පක්ෂපාත හැසිරීම් පැහැදිලිව දකින්න ලැබේ.

ඔවුන් මෙසේ හැසිරෙන්න අගවිනිසුරුවරයාගේ හා ආණ්ඩුවෙන් සිදුවන බලපෑම අනුව බවට සැකයක් නැත. මේ අතර රනිල් වික්‍රමසිංහට ඇප ලබා දීමට කටයුතු කළ විනිසුරුවරියට තවත් විනිසුරුවරයෙක් හරහා දැඩි විවේචනයකට ලක් කීරිමත් පසුගියදා දකින්න ලැබිණි. වත්මන් ආණ්ඩුවේ දේශපාලකයන්ට සහ නිලධාරීන්ට එරෙහිව ඇති නඩු වලදී විනිසුරුවරුන් මාරු කළ, අධිකරණය මාරු කළ අවස්ථාද තිබිණි.

විපක්ෂයත් නිහඬයි

කොහොම නමුත් මේ වන විට මෙරට නීතියේ ආධිපත්‍යයටත් අධිකරණයේ ස්වාධීනත්වයටත් දැඩි අභියෝගයක් එල්ල වෙමින් තිබෙන බව සත්‍යයකි.

අධිකරණ විනිසුරුවරයන් දේශපාලනික ලැදියාවන් හෝ ආණ්ඩුවේ සහ අගවිනිසුරුගේ දේශපාලනික බලපෑම් අනුව කටයුතු කිරීම් ගැන, මේ වන විට ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ ද අවධානය යොමුව පවතී. මේ අතර අගවිනිසුරුවරයාගේ හිතුවක්කාර ක්‍රියාකාරකම් නිසා අධිකරණ සේවා කොමිසම සමඟද ඔහු ගැටුම් ඇති කරගෙන තිබෙන බවත් පෙනෙන්ට තිබේ.

මේ අතර අගවිනිසුරුවරයාත් තවත් විනිසුරුවන් කිහිප දෙනෙකුත් ආණ්ඩුවේ දේශපාලනික වුවමණාවන් අනුව කටයුතු කිරීම ගැන, මේ වන විට සාක්ෂි ගනනාවක් ඇති නමුත් අධිකරණයේ උත්තරීතරයි, අධිකරණයට අපහාස නොකළ යුතුයි , අධිකරණය විවේචනය නොකළ යුතුයි ආදී සාම්ප්‍රදායික විශ්වාසයන් නිසා විපක්ෂ කණ්ඩායම් පවා මේ ඇත්ත තත්වය සඟවාගෙන කටයුතු කිරීම කණගාටුවට කරුණක්ව තිබේ.

නමුත් මේ වන විට තිබෙන සාක්ෂි අනුව අගවිනිසුරූ සුරසේනගේ කෂඩ හැසිරීම් වලට එරෙහිව දෝෂාභියොගයක් වුව ගෙන එ්මට තරම් සාක්ෂි තිබේ. විනිසුරුවරුන්ම ඒ සඳහා සාක්ෂි සපයනු ඇත. විනිසුරුවරුන්ට මේ වන විට එල්ල වෙමින් තිබෙන පීඩනය දරා ගැනීමේ සීමාවේ කෙළවරට පැමිණ ඇති නිසා අධිකරණ ක්ෂේත්‍රය මේ වන විට පවතින්නේ පුපුරා යෑමට ආසන්න ගිනි කන්දක් මෙනි. .

කොහොම නමුත් ආණ්ඩුවත් අධිකරණයත් මොන ගේම් ගැහුවත් අවසානයේ අධිකරණය කෙරෙහි ජනතාවගේ විශ්වාසයන් බිඳ වැටෙන තැනට පත් වුවහොත් ඇති විය හැකි ව්‍යවසනයන් ගැනත් මොළ කළඳක් හෝ තිබේ නම් ආණ්ඩුව ඒ ගැන කල්පනා කළ යුතුය. එසේම මෙරට අධිකරණයට සහ නීතියට එල්ල වල බලපෑම් ගැන ජාත්‍යන්තරයත් නිහඩ නොසිටින බවත් මතක තබා ගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *