මහනාහිමිවරු මෙරට බෞද්ධ ජනතාවගේ පැවිදි නායකත්වය නියෝජනය කරති. එනිසා උන්වහන්සේලාට බෞද්ධ ජනතාවගේ සහ බුදු දහම අනුව ගොඩනැඟුණු සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමටත්, ඒ සියල්ල රැඳී තිබෙන රට ආරක්ෂා කර ගැනීමටත් ඉමහත් වගකීමක් තිබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මිහිඳු මහරහතන් වහන්සේ එදා දේවානම්පියතිස්ස මහරජතුමාට ප්‍රකාශ කළේ ලංකාවෙහි බුද්ධ ශාසනය ස්ථාපිත වීමට නම් මෙරට මවුපියන්ට දාව හැදුණු වැඩුණු දරුවකු මහණ උපසම්පදාව ලබා හෙළ බසින් ධර්ම විනය දේශනා කළ යුතු බවය. එය මහවංසයෙහි පැහැදිලිව සඳහන්වේ. එතැන් සිට භික්ෂු මහා සංඝරත්නය රට, දැය, සමය ආරක්ෂා කිරීම සංසාරයෙන් මිදී විමුක්තිය ලබාගැනීම හා සමාන තමන්ට පැවරුණු, අත් නොහැරිය හැකි වගකීමක් සේ සලකා කටයුතු කර තිබෙන බව මෙරට සාසන ඉතිහාසය දෙස අවධානය යොමු කරන විට මොනවට පැහැදිලි වෙයි. දුටුගැමුණු මහරජතුමා යුද්ධයට යන විට යුද පෙරමුණෙහි ඉදිරියෙන් භික්ෂූන් වහන්සේලා වැඩම කළ බවත් කුන්තයක ලා ධාතූන් වහන්සේලා රැගෙන ගිය බවත් අපේ වංශ කතාවල සඳහන් වෙයි. එසේම ගැමුණු මහ රජු ප්‍රකාශ කළේ තමන්ගේ වෑයම රජ සැප විඳීම නොව හුදෙක් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම බවය.
ඉංග්‍රීසි යටත් විජිත පාලකයන් උඩරට පාලනය පවරා ගැනීමේදී අත්සන් කළ ගිවිසුමේද විහාර සහ දේවාලගම් ආරක්ෂා කිරීමේ වගකීම පිළිගෙන තිබේ. අනතුරුව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ පසු අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එසේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පිළිබඳ ව්‍යවස්ථාව ඇතිවූයේ මෙකී ඓතිහාසික පසුබිම අනුව බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. සියලු ජනතාවට තම තමන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳිමින් නිදහසේ ජීවත් විය හැකි පසුබිමක් මෙරට තුළ නිර්මාණය වූයේ එය ඓතිහාසිකව බෞද්ධ රාජ්‍යයක් හැටියට පැවතීම නිසා බව අපට කල්පනා කළ හැකිය. මෙසේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ ඓතිහාසික වගකීම අනුව මහනාහිමිවරු මෙරට පාලනය කළ ආණ්ඩුවලට, නායකයන්ට විටින් විට නොයෙක් උපදෙස් ලබා දුන්හ. විවිධ ඉල්ලීම් කළහ. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහනිකායේ මහානායක අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ නාහිමියෝ, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අපවත් වී වදාළ පලිපාන ශ්‍රී චන්දානන්ද වැනි මහා නා හිමිවරු රටේ ජාතික හා දේශපාලනික ගමන් මග කෙසේ සකස් විය යුතු දැයි යන්න පිළිබඳ ඒ ඒ අවධිවල රට පාලනය කළ නායක කාරකාදීන්ට මෘදුව හා තදින් සෘජු ලෙස අවවාද ලබා දුන්හ. පසුගිය දිනවල අප දුටුවේ මහා නාහිමිවරුන් වහන්සේලා රටේ විගණකාධිපති ධුරය දීර්ඝ කාලයක් හිස්ව තිබීම පිළිබඳ අවධානය යොමු කරමින් ඒ සඳහා සුදුස්සකු පත් කරන්නැයි රජයට අවවාද කළ ආකාරයයි. ඒ පිළිබඳ රජයෙන් පැහැදිලි ප්‍රතිචාරයක් ලැබුණු බවක් දැකිය නොහැකි විය. එසේම මහනාහිමිවරුන් තවත් ඉල්ලීමක් ආණ්ඩුවෙන් කර තිබේ. ඒ උතුරු හා නැගෙනහිර විහාරස්ථානවල ආරක්ෂාව ගැන අවධානය යොමුකර එකී ප්‍රදේශවල හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙසට කළ ඉල්ලීමයි. මෙකී ඉල්ලීම පසුගිය ආණ්ඩුවලින්ද මහ නාහිමිවරුන් ඉල්ලා තිබේ.
යුද ජයග්‍රහණයෙන් පසු උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදා කඳවුරු ඉවත් කරන්නැයි විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත්විය. විශේෂයෙන් දෙමළ ඩයස්‌පෝරාව ඒ පිළිබඳ යම් ප්‍රබල ඉල්ලීමක් කළ බව පෙනේ. එකී පදනම අනුව යුද ජයග්‍රහණයෙන් පසු යම් යම් හමුදා කඳවුරු ඉවත් කරගත් බව පෙනේ. යුද සමයේ පැවති හමුදා කඳවුරු සියල්ල ඒ ආකාරයෙන් පැවතිය යුතුද නැද්ද තීරණය කළ යුත්තේ යුද උපායමාර්ගික විශේෂඥයන් විනා දේශපාලනඥයන් නොවේ. එසේම එවැනි තීරණයක් ගැනීමේ දී උතුරු හා නැගෙනහිර පළාත්වල වෙහෙර විහාරස්ථාන පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව සඳහන් කළ යුතුය. යුද සමයේ සහ ඉන් පසුවද උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙහෙර විහාරස්ථාන ආරක්ෂා වූයේ ත්‍රිවිධ හමුදාව දැක්වූ සහයෝගය නිසාය. සමහර විහාරස්ථානවලට දැනුදු දානය ලැබෙන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙනි. නඩත්තු කටයුතු කරනුයේද ආරක්ෂක අංශ සාමාජිකයන් විසිනි. එනිසා හමුදා කඳවුරු ඉවත් කිරීමේදී එකී විහාරස්ථානවල ආරක්ෂාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව ට මහනාහිමිවරුන් ඉල්ලා සිටීම සාධාරණය.
උතුරු හෝ නැගෙනහිර පළාත්වලින් පිටස්තර ප්‍රදේශවල තිබෙන කෝවිල්, පල්ලි ආදියේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක අංශවලට වෙහෙස වීමට දෙයක් නොමැත. එම ආගමික ස්ථාන ඉවත් කරගන්නැයි හෝ ඒවාට පැමිණීමෙන් වළකින්නයි දකුණ ඇතුළු පළාත්වල ජනතාව උද්ඝෝෂණය කරන්නේ ද නැත. එහෙත් උතුරේ එවැනි තත්ත්වයක් නොමැත. පෞරාණික බොහෝ විහාරස්ථානවල පැවැත්ම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවී තිබෙන බව නොරහසකි. ඒවා සාමකාමීව, රටේ තිබෙන නීතිය අනුව විසඳා ගත යුතුය. ඒ පිළිබඳ සියලු පාර්ශ්ව සාමකාමී සාධාරණ යුක්ති සහගත ප්‍රවේශයකින් කටයුතු කළ යුතුය. එවැනි ප්‍රවේශයක් ඇතිවන තෙක් උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙහෙර විහාරස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවට ඉතා දැඩිව අවධානය යොමු කිරීමට සිදුවන බව නොරහසකි. එනිසා මහනාහිමිවරුන් සමග සාකච්ඡා කර ඒ පිළිබඳ තීන්දු තීරණ ගතයුතු බව සඳහන් කළ යුතුය. එක් ජනවර්ගයක් හෝ ආගමික කණ්ඩායමක් අසහනයට පත්කර තවත් කණ්ඩායමක් සහනයට පත් කිරීම ආණ්ඩුවක වගකීම නොවේ. සියලුම කණ්ඩායම් සහනයට පත්වන ආකාරයට කටයුතු සැලසීම ආණ්ඩුවක පිළිවෙත විය යුතු බව අමුතුවෙන් සිහිපත් කළ යුතුද නොවේ.
