මාර්ටින් වික්‍රමසිංහ මෝඩයෙක්ද?

මේ මාතෘකාව කල් ඉකුත් වූවක් යැයි ඇතැම් පාඨකයෙකුට සිතෙන්නටද පුළුවන. ඒ අපේ සමාජය එක විෂයයක දවස් කීපයකට වඩා එල්ලී නොසිටින තරමට වේගයෙන් වෙනස්වන බැවිනි. එහෙත් රට, ලෝකය පිළිගත් චරිතයකට මෝඩයා යැයි කීම නම් යල් පනින කතාවක් නො‍වේග දැවැන්ත ප්‍රතිරූපයක් ඇත්තෙකුව දෙකයි පනහට දමා කතාකිරීම මගින් තමන්ට ප්‍රතිරූපයක් තනාගැනීමට කටයුතු කිරීම එදාමෙදා නොවෙනස්ව පවතින සංසිද්ධියක් වන බැවිනි. රසායන විද්‍යාව ටියුෂන් ගුරුවරයෙකු තමන් නොදන්නා සිංහල සාහිත්‍යය ගැන, සාහිත්‍යධරයකු ගැන මෝඩ කතාවක් කීමෙන් මුළු රටේම කතාබහට ලක්වූයේ එලෙසිනි.

අප මේ තනන්නේ තමන් නොදන්නා බව නොදන්නා ඒ මෝඩ මනුස්සයා විවේචනය කිරීමට නොවේ. ඔහු දැනටමත් අහගන්නට පුළුවන් සියලු කයිකතන්දර රටේ හතරදිග් භාගයෙන්ම අසාගෙන අවසානය. අපේ උනන්දුව ඇත්තේ බොරදියේ මාළු බාන නැතහොත් ටියුෂන් ගුරුවරයාගේ වචනවල එල්ලී සිය පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කරන්නට දඟලන ෆේස්බුක් වීරයන් ගැනය.

ඔවුන්⁣ කියන හැටියට ටියුෂන් ගුරුවරයා කී කතාව බොරු නොවේ. වැරැද්ද ඇත්තේ ඔහුගේ ඉදිරිපත් කිරීම රළුවීම පමණය. මාර්ටින් වික්‍රමසිංහගේ “ගම්පෙරළිය” එහෙමකට වැදගැම්මක් ඇති නවකතාවක් නොවේ. එය වැදගත් වූ⁣යේ ඒ ලියූ කාලයට සාපේක්ෂව පමණය. ඊට වඩා වැදගත්කමින් වැඩි නවකතා දැන් ඕනෑතරම් තිබේ. මෙසේ කීමෙන් ඔවුන්⁣ රටට පෙන්නුම් කරන කාරණා දෙකක් තිබේ. එකක්, ඔවුන්⁣ ලෙයින් නොවූවත් මනසින් ටියුෂන් ගුරුවරයාගේ පවුලේ සාමාජිකයන් බවය. (අවධාන හිඟන්නන් බවය) අනෙක ඔවුන්⁣ සාහිත්‍යය ගැන අඳෝසංසාරයක් නොදන්නා නොදරුවන් බවය.

“ගම්පෙරළිය” අපේ රටේ බිහිවූ මහා නවකතාව යැයි සිංහල සාහිත්‍යය ගැන අබමල් රේණුවක් දන්නා කෙනෙක් කියන්නේ නැත. අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී සිංහල විෂයයේ නිර්දිෂ්ට ග්‍රන්ථයක් වීම නිසා මේ සාහිත්‍ය නූගතුන් එසේ සිතනවා විය හැකිය. ඔවුන්⁣ “ගම්පෙරළිය”ට පහරදෙන්නේ එනයිනි. එහෙත් “ගම්පෙරළිය” සිංහල නවකතාවේ දැවැන්ත සන්ධිස්ථානයක් මිස අනෙකක් නොවේ. 1905 දී ලියවුණු පළමුවැනි සිංහල නවකතාවේ, එනම්, “මීනා⁣”ගේ පටන් “ගම්පෙරළිය” දක්වා සියලු නවකථා ලියවුණේ අද්භූත ශෛලියකිනි. යථාර්ථවාදී ශෛලියෙන් ලියවුණු පළමුවැනි සිංහල නවකතාව “ගම්පෙරළිය”යි. “ගම්පෙරළියෙන්” පසුව ඊට වඩා උසස් නවකතා කොතෙක් ලියවුණත්, සිංහල නවකතාව අද්භූත වාදයෙන් යථාර්ථවාදය⁣ට ගෙනඒමේ මායිම්ගල සලකුණු කෙරෙන්නේ “ගම්පෙරළියෙනි.” එය සිංහල නවකතා ඉතිහාසය කියවීමේදී කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි සත්‍යයකි.

අප මේ මාර්ටින් වික්‍රමසිංහට චරිත සහතිකයක් නිකුත් කරන්නට හදනවා නොවේ. ඇත්ත කතාව නම් ඔහුට කාගේවත් සහතික අවශ්‍ය ⁣නැත. ඔහු විශ්වවිද්‍යාල උපාධි සහතික තබා ඒ කාලයේ තිබූ ජේ.එස්.සී. (අද අට වසර) සහතිකයවත් තිබූ කෙනෙකු⁣ නොවේ. ඔහු පාසල් අධ්‍යාපනය ලබා තිබෙන්නේ පහේ පංතියට පමණය. ඔහු සිංහල, ඉංග්‍රීසි දෙබසේම උගතෙකු වූ⁣යේද, පොත් අසූහයක් හා ලිපි දහස් ගණනක් ලිවීමට අවශ්‍ය පරිචය ලබාගත්තේද ස්වෝත්සාහයෙන් පොතපත කියවීමෙනි. අද පවතින තාක්ෂණය නොතිබූ එදවස ඔහු දැනුම රැස්කර ගත්තේ එමගිනි. එහෙත් ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයක්ම ඔහුට තමන්ට පිරිනැමිය හැකි ඉහළම උපාධි (Ph,d දර්ශන සූරී හා D.Lit සාහිත්‍ය සූරී) උපාධි ඔහුට පිරිනැමුවේය. තමන්ට එසේ පිළිගත් හා පිළිනොගත් විශ්වවිද්‍යාලවලින් පිරිනැමෙන ආචාර්ය පට්ටම් නමට ඉදිරියෙන් ආඩම්බරයෙන් පාවිච්චි කරන රටක මාර්ටින් වික්‍රමසිංහ ඒ කිසිවක් භාවිතා කළේ නැත. මහ ගත්කරු, කොග්ගල ප්‍රාඥයා ආදී කිසිවක් අනුන් විසින් ඔහුට පිරිනැමූ ගෞරවයන් මිස ඔහු කොතැනදීවත් යොදාගත් විශේෂණ නොවේ. මාර්ටින් වික්‍රමසිංහ වීම ඔහුට තිබූ එකම හා ඉහළම උපාධිය විය. මූලික අධ්‍යාපනයක් නොමැතිව ශාස්ත්‍රීය ලෝකයේ ඉහළම පිළිගැනීම ලැබූ චරිත අපේ රටේ මතු නොව මුළු මහත් ලෝකයේම වුව හිඟය. ඒ ගමනම ඔහු මහා පුරුෂයෙකු කොට සැලකීමට සෑහේ.

මාර්ටින් වික්‍රමසිංහ යනු හුදෙක් ප්‍රබන්ධ කතාකරුවෙකු නොවේ. ඔහු විෂයය ගණනාවක් පිළිබඳ පුළුල් හැදෑරීමක් ඇතිව ඒ ඒ විෂයයන් පිළිබඳ ලියූ විද්වතෙකි. ඔහුගේ පොතක මුල් පිටුවල සඳහන් වන කර්තෘගේ වෙනත් පොත් ලැයිස්තුවේ නම් කියවීමෙන් පමණක් විවිධ ක්ෂේත්‍රවල විහිදී ගිය ඔහුගේ දැනුම අවබෝධ කරගත හැකිය. ඔහු සිංහල සාහිත්‍යයට එකතු කළේ මොනවාදැයි ප්‍රශ්න කරන අඳබාලයන්ගෙන් ඇසිය යුත්තේ ඔහු සිංහල සාහිත්‍යයට එකතු නොකළේ මොනවාද කියාය. ඒ සියල්ල කියන්නට මෙතැන නොතැන වුවත් ඉන් එකක් දෙකක්වත් නොකියා යෑම නුසුදුසුය. එතෙක් බණ කතා එකතුවක් හැටියට හෑල්ලු කොට සැලකුණු ජාතක කතා නූතන කතා කලාවට පූර්වගාමී සාහිත්‍යංගයක් හැටියට හඳුන්වාදෙන්නට පුරෝගාමී වූයේ ඔහුය. පසුකලෙක ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් විසින් ඉදිරියට ගෙනයන ලද අපේ මිනිසුන්ගේ හිස්ගෙඩි හිස්මුදුණින් පිළිගත් මිථ්‍යා මතවලට හාපුරා කියා ප්‍රහාරය එල්ල කළ දේශීය බුද්ධිමතාද ඔහුය.

මාර්ටින් වික්‍රමසිංහ සුළුකොට තකන්නට තනන සෑම කෙනෙකුම පෙන්නුම් කරන්නේ තමන්ගේ පුංචිකම මිස වෙන යමක් නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *