පුණ්‍ය ගිවිසුම

මේ රටේ වතු කම්කරුවන්ගේ දෛනික පඩිය රුපියල් 1750 තෙක් ඉහළ නැංවීම සඳහා වතු සමාගම් සමග ගිවිසුම්ගත වීමට ආණ්ඩුව ඊයේ පියවර ගත්තේය. මෙසේ වැඩි කරන මුදලින් රුපියල් 200 ක් ආණ්ඩුව සෑම වතු කම්කරුවකුටම ගෙවනවා ඇත. මේ ආණ්ඩුව විසින් මේ දක්වා කරන ලද හොඳ වැඩ කිහිපයක් තිබේ නම් ඒවා අතරින් හොඳම වැඩේ වන්නේ වතු කම්කරුවන් සම්බන්ධයෙන් ගත් මේ පියවරය. වතු කම්කරුවා යනු ඉතිහාසය පුරාම සූරාකෑමට ලක්වූ ජනකොටසකි. මෙයට අවුරුදු සියයකට පෙර වතු කම්කරු ප්‍රජාව දකුණු ඉන්දියානු දෙමළ ජනතාවගෙන් සමන්විත විය. එහෙත් අද වන විට සිංහල මිනිස්සු ද දෙමළ මිනිස්සු ද වතු කම්කරු ක්‍ෂේත්‍රයට ඇතුළු වී තේ වතුවල දලු නෙළති. ගල් වැටි බඳිති. එසේම දුක් ද අනුභව කරති.

වතු කම්කරුවන් මුල්වරට ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන්නේ මීට ශතවර්ෂ එකහමාරකට පමණ පෙරය. එකල මේ රටේ තිබූ කෝපි වගාව විනාශයට පත්වූ බැවින් අලුතින් තේ වගාව හඳුන්වා දෙන ලදී. තේ වැවීම සඳහා තම වතුයායවලට පැමිණ දවසේ කුලියට වැඩ කරන්නැයි සුදු ජාතිකයෝ සිංහල ජනයාගෙන් ඉල්ලා සිටියහ. අතීතයේ සිටි සිංහල මිනිසා කුලියට වැඩ කිරීමට කැමැති කෙනෙක් නොවීය. ඔහු වැඩ කළේ අත්තමට ය. ඒ අනුව තමන් තේ වතුවලට පැමිණ නොමිලේ වැඩ කරන බවත්, තමන් කුඹුරු කරන කාලයට සුද්දන් පැමිණ තම කුඹුරුවල අත්තමට වැඩ කළ යුතු බවත් සිංහල මිනිස්සු සුදු ජාතික වතු පාලකයන්ට කීහ. මෙයින් සුද්දෝ අන්දමන්ද වූහ. ටයි, කෝට් ගහගෙන කුඹුරුවල වැඩ කිරීමේ පුරුද්දක් සුද්දන්ට නැත. ඔවුන් මඩ නාගෙන වැඩ කිරීමට ද කැමති නැත. මේ නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා හමු වූ සුදු ජාතික වතු පාලකවරු ලංකාවේ තේ වැවීම සඳහා ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ගෙන්වා ගැනීමට අවසරය ඉල්ලුවේ ය. එකල ලංකාවත්, ඉන්දියාවත් යන දෙකම සුද්දන්ට යටත්වී තිබිණ. ඒ අනුව වැඩි කලබලයක් නැතුවම දෙමළ කම්කරුවන් මෙරටට ගෙන්වීමට අවසර ලැබිණ. ඒ අනුව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ගිය සුදු වතු පාලකවරු හොඳ පඩි, හොඳ පහසුකම් සහ හොඳ ආහාර ලබාදීමේ පොරොන්දුව මත දෙමළ ජාතිකයන් පන්සියයක් පමණ රවටාගෙන රුවල් නැවක පටවා මන්නාරම වරායට ගෙනාවේය. මන්නාරමේ සිට වතුකරයට පයින් යෑමට මාස එකහමාරක් පමණ ගතවෙයි. දෙමළ කම්කරුවෝ ඒ මාස එකහමාර පුරාම පා ගමනින් වතුකරයට ගියහ. මේ ගමන වනය මැදින් ගිය ත්‍රාසජනක ගමනකි. මේ ගමනේ දී ඇතැම් කම්කරුවන්ට වසූරිය වැලඳින. තවත් සමහරුන්ට පැපොල හැදින. තවත් අයට මැලේරියාව වැලඳින. මන්නාරමෙන් දෙමළ කම්කරුවන් පන්සියයක් ගොඩබෑවද කඳුකරයට යන අතරමගදී එයින් හාරසියයක් විවිධ ලෙඩ රෝග නිසා මියගිය බැවින් තේවතුවලට ගියේ සියයක් පමණි. මේ බව ගණනය කළ සුදු වතු පාලකයෝ ඊළඟ කම්කරු ෂිප්මන්ට් එක සඳහා දෙමළ කම්කරුවන් දහසක් නැව්වලට පටවාගත්හ. මන්නාරමේ සිට වතුකරයට යන විට මේ පිරිසෙන් තුන්සියයක් පමණ ඉතිරි වූහ. සුද්දන් දෙමළ ජනයාට පොරොන්දු වූ කිසිවක් වතුකරයේ දී ලැබුණේ නැත. ඔවුන් පවුල් පිටින්ම පොල්අතු මඩුවලට ගාල්කරන ලදී. ඔවුන්ට කන්නට ලැබුණේ පාන්පිටිවලින් තැනූ රොටී පමණි. රොටීවලට අමතරව හකුරු සමග ප්ලේන් ටී ද ඔවුන්ට ලැබිණ.

කාල් මාක්ස්ගේ නිරීක්‍ෂණයට අනුව 19 වන සියවසේ බ්‍රිතාන්‍ය කම්කරුවන්ගේ ප්‍රධාන ආහාරය වූයේ අර්තාපල් ය. ඔවුහු උදේට අර්තාපල් තම්බා කෑහ. දවල් අර්තාපල් පුලුස්සා කෑහ. රාත්‍රියට අර්තාපල් සුප් හදා පානය කළහ. මාක්ස් මේ ආහාර ස්වභාවය අර්ථ දක්වන්නේ පළමුවත් අර්තාපල්, දෙවනුවත් අර්තාපල්, තෙවනුවත් අර්තාපල් යනුවෙනි. ඊට සමගාමීව ලංකාවේ වතු කම්කරුවන්ගේ පළමුවන ආහාරයත්, දෙවන ආහාරයත්, තෙවන ආහාරයත් යන තුනම සමන්විත වුණේ පාන්පිටිවලින් සෑදූ රොටීවලිනි. පාන්පිටි රොටී යනු කිසිදු පෝෂ්‍ය පදාර්ථයක් සහිත ආහාරයක් නොවේ. එහි ප්‍රෝටීන් ප්‍රමාණය ඉතා අල්පය. මේ නිසා වතු කම්කරුවාගේ මොළය වැඩුණේ නැත. වැඩුණේ ඔවුන්ගේ ශරීරය පමණි. මේ අතර සුද්දෝ වතුකරයට අරක්කු පුරුදු කළහ. මෙය ඉතා නරක වැඩකි. වතු කම්කරුවෝ අතේ තිබෙන තුට්ටු දෙකෙන් අරක්කු පානය කර, පාන්පිටි රොටී කා රාත්‍රී කාලයේදී තම බිරියන්ට හා දරුවන්ට පහර දුන්හ. නිදහසින් පසු වතුකරය භාර ගත්තේ මේ රටේ දෙමළ දේශපාලනඥයන් විසිනි. ඔවුහු ද සුද්දන්ට නොදෙවෙනි හොරු වූහ.

වතු කම්කරුවන්ගෙන් විවිධ අරමුදල් සඳහා සල්ලි එකතු කරගත් ඒ මිනිස්සු කොළඹ පැමිණ තරු පහේ හෝටල්වලට රිංගා ගණිකාවන් සමග යහන්ගත වී විස්කි පානය කළහ. වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතු බව කිසිකෙනකු කල්පනා කළේ නැත. මේ නිසා වත්ත නමැති ඒකකය තුළ දරිද්‍රතාවය නමැති සංකල්පය ආගම ධර්මය මෙන් ආරක්‍ෂා විය. වතු කම්කරු දරුවන්ට අධ්‍යාපනය සහ වෛද්‍ය පහසුකම් ලැබුණේ සුළු වශයෙනි. මේ රටේ වතුකරයේ සිටින දෙමළ දේශපාලනඥයෝ අදටත් වතු කම්කරුවන් සූරා කති. ඒ දේශපාලනඥයෝ කෝටිපතියෝ ය. ඔවුන් යන්නේ BMW රථවලය. ඔවුන් ජීවත් වන්නේ කොළඹ කුරුඳුවත්තේ ය. මේ ආකාරයෙන් බලන විට ලංකාවේ වැඩිම පීඩනයකට ලක්ව සිටින කම්කරු පන්තිය වතු කම්කරුවෝ වෙති. මේ අයගේ වැටුප් වැඩි කිරීමට ආණ්ඩු ගණනාවක් උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. එයට හේතුව පඩි වැඩිකිරීමට ආණ්ඩුව කී සැණින් වතු කර්මාන්තයෙන් ඉවත් වන බව වතු හිමියන් තර්ජනාත්මකව පැවැසීම ය. එහෙත් අපට පෙනෙන විදිහට කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා වතු හිමියන් නම්මා ගැනීමට ජනාධිපති දිසානායකට හැකිව තිබේ. සදාකාලිකවම පාන්පිටි රොටී සමග දුක අනුභව කළ ඒ මිනිසුන් වෙනුවෙන් වතු සමාගම් සමග ගිවිසුම්ගත වීම නිකන් ගිවිසුමක් නොව පුණ්‍ය ගිවිසුමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *