කොළඹ කීර්තිමත් ඉතිහාසයක් හිමි පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම පාසලේ ගුරුවරියන් තිදෙනෙක් අතර සිදු වූ කුණුහරුපයක් ගෙවුණ සතිය පුරා රටේ මහත්ම ආන්දෝලනයක් ඇති කළේ ය. දැන් මේ කතාව වලයමින් තිබෙන්නේ වුවද, එය අධ්‍යාපනය ගැන ජනතාව දරන ආකල්පය තේරුම් ගන්නට මෑතක මතු වූ හොඳම කතාවක් විය. එසේම ඒ කතාවේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොයි මගක යා යුතු දැයි කියාදෙන සිතියමක් ද අන්තර්ගත වූයේය.
මේ කතාව හෙළිදරව් වූ වග තේරුම් ගිය වහාම පත්තර, රූපවාහිනී නාළිකා ආදී වගකිවයුතු මාධ්‍යවල මේ පුවත පළ නොකරවා ගන්නට, ඒ ඉස්කෝලෙට පෙම් බඳින වගකිවයුත්තන්ට පුළුවන් විය. එහෙත් බොහෝ මාධ්‍යවල පාසලේ නම සඳහන් නොකෙරුණේ අවිනීත සිදුවීමකදී ඉස්කෝලයක නම් හෙළි නොකළ යුතුය යන සිල්පදය රකින නිසාම නොව ඒ ඉස්කෝලය දරන ආධිපත්‍යය නිසා යැයි කීවොත් එයද ඇත්තේ එක පැත්තකි.
පත්තරවලත්, රූපවාහිනි පුවත්වලිනුත්, පාසලේ නම වග විත්ති සඟවන්නට පුළුවන් වුවත් සමාජ මාධ්‍ය හනුමා මේ පුවත අරන් ලංකාවට ගිනි ලෑවේය. එහෙත් කදෝපැණියකුගේ තරම්වත් කීර්ති කදම්බයක් නැති තරම් පොඩි ඉස්කෝලයක මෙබඳු දෙයක් වූයේ නම් මෙතරම් ප්‍රසිද්ධියක් ලැබේ දැයි කා තුළත් නැගුණ ප්‍රශ්නය විය. එය සාධාරණ ප්‍රශ්නයකි.
මේ රටේ පාසල් දහදාහ අතරින් ජාතික පාසල් තිබෙන්නේ තුන්සිය හතළිස් දෙකකි. එයිනුත් චෛත්‍යයක කොත බැන්දා සේ කොළඹ ඉස්කෝල පහක් වෙයි. මේ ඉස්කෝල පහෙන් එකකට දරුවකු රිංගවා ගැනීම ඔටුවකු ඉදිකටු සිදුරකින් රිංගවා ගැනීමකට නොදෙවෙනිය. සෑම වසරකම ඉස්කෝලෙ එන ලක්ෂ තුනකට නොවැඩි සිසු පිරිස අතරින් මෙබඳු ඉස්කෝලයකට රිංගා ගන්නට බැරිව හැලෙන ළමයින් සංඛ්‍යාව ඒ ඉස්කෝලවල ඉන්නා ළමයින් ගණනට වඩා නම් කොහොමත් වැඩිය. ඒ හැලෙන බොහෝ දරුවන් පිරිසක් යන්නේ තම හිතට එතරම් අල්ලන්නේ නැති පාසලවලටය. ඊළඟට දහස් ගණනක් හැලෙන විදියට තරග කර දිනා ඒ සුපිරි ඉස්කෝල පහෙන් එකකට රිංගා ගන්නා එවුන් ඉස්කෝලය ගැන ගහන පම්පෝරි නාගසලං කතා එයට රිංගා ගන්නට බැරි ඉස්කෝලවල ඔවුන්ගේ කනේ යවුල් අනින්නේය. අසවල් ආගමික අධ්‍යාපනයේ ප්‍රදීපස්තම්භය, ලංකාවේ කීර්තිමත්ම විශිෂ්ට පාසල ආදී වශයෙන් මේ ඉස්කෝල ගැන උදම් අනන වාරයක් පාසා සෙසු පාසල් දරුවන්ට තමන්ගේ ඉස්කෝලෙට හිමි තැන ගැන ඇති කෙරෙන්නේ සංකාකූල හැඟීමකි. දුප්පත් දරුවන්ට තමන් උපන් පන්තියෙන් ඉහළට නගින්නට තියෙන ඉණිමග අධ්‍යාපනය වුවත්, ඔවුන් ඉගෙන ගන්න ඉස්කෝලවලට නම් පන්තියක් උඩටට නගින්නට ඉණිමගක් මේ ඉස්කෝල තිබෙන තුරු ලැබෙන්නේ නැතිබව ඔවුන්ට දැනේ. සෙසු ඉස්කෝල දෙකේ කොළේට දමන නගරයේ තිබෙන ප්‍රධාන පාසලකට මෙබඳු අතවරයක් වූ කල්හි ඒ කීර්තිමත් පාසලේ කොළේ ඉරා ඇඟේ හලා දැමීමට සෙස්සන්ට සිතෙන්නේ නිරායාසයෙනි.
ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ගුරුවරියන් තිදෙනාගේ කතාව විසිරුණ කාලයේ අප දුටු තවත් දෙයක් වෙයි. අපේ ජනතාවගේ ලිංගාශ්‍රිතව තිබෙන රෝගවලට වඩා හිත් ආශ්‍රිතව තියෙන ලිංගික රෝග බලවත්ය. සුනාමියට අසු වූ කෝච්චියේ ගමන් ගත් කතුන්ගේ මළ මිනී දූෂණය කර තිබුණේ එම කෝච්චියේම කඩල, ටොෆි වෙළෙඳාම් කරන්නන් බව ඒ කාලයේ කියැවිණ. එදිනෙදා මගීන් අතර ගැවසෙන මිනිස්සු රූමත් කතුන්ගේ මිනී දූෂණය කර තිබුණේ එම කතුන් ජීවතුන් අතර සිටියදී එබඳු දෙයක් කරගන්නට කවදාවත් ඉඩක් ලබා නොදෙන බව දන්නා නිසාය. අද ද ප්‍රසිද්ධ නළුවකු, ක්‍රිකට් ක්‍රීඩකයකු ස්ත්‍රී දූෂණයකට අසු වූවොත් ඔවුන් එල්ලා මරන්නට වැඩිපුරම කතා කරන්නේ පිරිමිය. එසේ වන්නේ තමන්ට නොලැබෙන අවස්ථා භුක්ති විඳීමට ක්‍රීඩකයන්, නළුවන්ට පුළුවන්වන නිසා මතුවන ඊර්ෂ්‍යාවය. ඒ නිසා පැඟිරි කොල්ලකු තරුණ ගුරුවරියන් තුන්දෙනෙක්ම දැලේ දා ගැනීම ගැන සංත්‍රාසයට පත්ව කතා කිරීම පුදුමයක් නොවේ.
අනෙක් අතට මෙම සිද්ධිය මේ සා මහත් ආන්දෝලනයක් ඇති කළේ ලාංකිකයන්ට උරුම වූ පසුගාමී ගොබ්බකම නිසා යැයි ඇතැමුන් කියන්නේ සිය රටුන්ගේ හිත්වලට වඩා නොරටුන්ගේ මනස හොඳින් දන්නා වුන් පරිද්දෙනි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් වයස පහළොවේදී වයස තිස් නවයක් වූ දරුවන් තිදෙනක් වූ තම ගුරුතුමියට පෙම් බැන්දේය. වයස විසිනවයේදී එමානුවෙල් මැක්රෝන් ගුරුතුමියව කසාද බැඳ ගන්නා විට ඇයගේ වයස 54 කි. දියුණු රටවලට මේවා වැඩ නොවේ යැයි කියන්නට විදෙස් රටවල ඇත්තන්ගේ හැටි දන්නා බව කියන උන් දෙන උදාහරණය.
2025 ජූලි මාසයේ ඇමරිකාවේ බොස්ටන් හි කෝල්ඩ් ප්ලේ නම් ක්‍රීඩා තරගය පැවැත්වෙද්දී සුප්‍රසිද්ධ පරිගණක සමාගමක උපදේශකවරයකු එහි මානව සම්පත් කළමනාකාරිනිය සමග ආලිංගනයේ යෙදී සිටිනු රූපවාහිනි කැමරාවට හසුව එය ලොව වටා විසිර පැතිර ගියේය. ඒ රූපරාමුව බලා විරෝධය පෑවෝ ලක්ෂ ගණනින් කීවේ මෙය සදාචාර විරෝධී පෙමක් බවත්, මේ දෙන්නා බැඳී ඉන්නා විවාහවලින් වෙන් විය යුතුය කියාය. එරට බිරින්දෑවරු ලක්ෂ ගණනින් කීවේ මේ උපදේශකයා මාගේ ස්වාමියා නම් මම ඔහුව මරා දමන බවය. නැට්ට හැලී මානවයා බවට පත්ව වසර දහස් ගණනක් ගෙවී තිබුණත් තවමත් දියුණු රටවල උන් නැට්ටේ ඉඳන් ගොම ගා ගනිති.
මේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ගුරුවරියන් හා කරන ලිංගික කාර්යය ගැන වීඩියෝව හෙළිදරව් වී ඒ ගැන පියවර ගෙන ඇත්තේ කලකට පෙර වුවත් එය ප්‍රචාරය නැකතක් එනතුරු සිටියා වාගේය. එය ප්‍රචාරය කරන්න පටන්ගෙන ඇත්තේ හරිනි අමරසූරිය අගමැතිනිය අදාළ පාසලේ සියවස් සැමරුමට ගිය දිනට පෙර දිනයේ සිටය. හරිනිගේ සම්ප්‍රාප්තිය වෙන දිනයේම ශිෂ්‍ය නායකයා හා ගුරුවරියන් ගැන මේ වීඩියෝව ප්‍රචාරය කෙරුණේ කුමන්ත්‍රණයක් නිසා යැයි ආණ්ඩුව කියන දේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්නට පුළුවන් නම් ලිංගික ද්වේෂයට වඩා දේශපාලන වෛරය බලවත් බව අපට පිළිගැනීමට සිදුවේ.
කෙසේ වෙතත් මේ කාරණය පදනම් කරගෙන ආණ්ඩුව ගෙනෙන්නට හැදූ මොඩියුලයේ අනර්ථකාරී බව ද පෙන්වා දීමට පිරිසකට පුළුවන් වීම එක්තරා වාසනාවකි.
ආණ්ඩුව ගෙනෙන්න යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගුරුවරුන් දරුවන්ට පැවරුම් ලබා දී ඔවුන්ම ඊට ලකුණු ලබා දී විභාග සමත් කෙරෙයි. දරුවන්ගේ ක්‍රියාකාරකම්වලට ගුරුවරුන්ගේ අභිමතයට අනුව ලකුණු ලබා දීම මහා දූෂණයක මුල බව බොහෝ විද්වතුන්ගේ මතය විය. මේ අනර්ථය පෙන්වන්නට ශිෂ්‍ය නායකයාගේ සිද්ධිය පාන ඇල්ලුවා සේ වැඩක් විය. මේ කියන පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කරන පැවරුම්වලට ඇඳිවත උනා ඔහුට හෙලුව පෙන්නන්න තරම් ආදරය කළ ගුරුවරු ලකුණු දුන්නේ නම් මේ සිසුවාගේ ලකුණු කොහොමට සිටීද? මේවා ආණ්ඩුවේ හොඳ ළමයි සලකා බැලිය යුතු කාරණාය.
aruna.lk
