නි. ලේකම් වැඩ තහනම් කර කතානායකට ඉදුරුවේ ආචාරියාට වූ දේ වෙලා..

පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

දිනපතා නාඩගම් රඟපාමින් රටට විහිළු සපයන මාලිමා ආණ්ඩුවේ අළුත්ම ප්‍රහසනය තමයි කතානායක කෝලම.  කතානායකවරයා ඉතිහාසය අළුතින් ලියමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩ තහනමට ලක් කර තිබෙනවා.  ඒ වැඩ තහනම තුලින් කතානායකවරයා තමන්ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කරලා තිබෙනවා.  මේ තීන්දුවේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා.

මුලින්ම, නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ විනය බලධරයා වෙන්නේ මහ ලේකම්වරයා මිස කතානායකවරයා නොවේ.  ඒ නිසා කතානායකවරයාට කිසිම බලයක් නෑ නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩ තහනමකට ලක් කරන්න.  දෙවනුව, වැඩ තහනම් කිරීමට පෙර නිලධාරියාට එරෙහිව තිබෙන චෝදනා පිළිබඳ මූලික පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. නමුත් වැඩ තහනමට ලක්කල නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාට එහෙම මූලික පරීක්ෂණයක් කරලා නෑ. 

තුන්වෙනුව, කතානායකතුමා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ආපු තොරතුරු විමසුමක් ගැන විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙක් ලවා පරීක්ෂණයක් කරලා තිබෙනවා.  ඒ වාර්තාව පදනම් කරගෙන තමයි වැඩ තහනමට ලක් කරන්නේ.  නමුත් මූලික පරීක්ෂණයක් කරන්න පත් කරන්න ඕනි පරීක්ෂණයට ලක් වෙන නිලධාරියාට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්.  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ඒ තනතුර වගේම කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරත් දරනවා.  ඒක අමාත්‍යාංශ ලේකම්ට සමාන තනතුරක්.  ඒ නිසා අතිරේක ලේකම්වරයෙකුට මූලික පරීක්ෂණය කරන්න බෑ.

හතර වෙනි කාරණය තමයි ලෝකයම හිනස්සන කාරණය.  වැඩ තහනම් කිරීමට ඇත්ත හේතුව.  ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කරපු නිසා,  කතානායකගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටින කතානායක තුමන්ගේ සමීපතම කෙනෙකු සමග ගැටුමක් හදා ගත් නිසා යනාදි වශයෙන් විවිධ හේතු විවිධ දේශපාලකයින් කියනවා.  ඒවා ඔක්කෝම බොරු.  නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම් කරලා තිබෙන්නේ සේවයේ ස්ථිර කරන්න වසර තුනක් තනතුරේ සිටිය යුතු නමුත් වසරක් සම්පූර්ණ වුණු ගමන් ස්ථිර කරලා කියලා.  ලෝකයේ කිසිම රටක තමන්ගේ තනතුර ස්ථිර කර ගන්න තමන්ට බෑ.  ඒක කරන්න ඕනි තමන්ට වඩා ඉහළ නිලධාරියෙක්.  නීත්‍යානුකූලවම කියනවා නම් පත්වීම් බලධාරියා.  නියෝජ්‍ය මහ ලේකම්ගේ පත්වීම් බලධාරියා වෙන්නේ ඇමති මණ්ඩලය.  එතකොට ඇමති මණ්ඩලය විසින් වසරක් පිරුණු ගමන් ස්ථිර කරපු එක වරදක් නම් වැරදකරු වෙන්න ඕනි ස්ථිර කරපු එක්කෙනා මිස ස්ථිර කිරීමට ලක් වුණු එක්කෙනා නොවෙයිනෙ.  කැකිල්ලේ රජ්ජුරුවන් වත් මෙහෙම තීන්දු දීලා නෑ. අපේ ජනාධිපතිතුමන් චේතිය රජතුමන් පරදා ඉදිරියට යන අතරේ අපේ කතානායකතුමන් කැකිල්ලේ රජතුමාටත් සටනක් දෙන බවයි පේන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *