සමන් සර් ගැන උඹ මොකුත් ලියන්නේ නැද්ද ? කියලා වර්තමාන රාජ්‍ය සේවයේ ඉන්න අපිත් එක්කත් වැඩ වලදී සම්බන්ධව හිටපු ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හතර දෙනෙක් මට පහුගිය දවස් කිහිපයෙ කතා කර තියෙනවා. ඒ වගේම සමන් සර් සමඟ ඉතා සමීපව වැඩකළ නිලධාරීන් දහ පහලොස් දෙනෙක් පමණ කතා කර තිබෙනවා. ඒ හැම කෙනෙක්ම ඇහුවේ “ධනුෂ්ක උඹ සමන් සර් ගැන මොකුත් ලියන්නේ නැද්ද ?” කියලා. මට ඔවුන්ගෙන් අහන්න හිතුණා, “ඇයි සර්ට/මැඩම්ට, උඹලට ලියන්න බැරි ?” කියලා. නමුත් මම ඇහුවේ නෑ.
හැබැයි අද උදේ ආපු ඇමතුමෙන් ඒ ප්‍රශ්නයට පිළිතුර ලැබුණා. ඒ ඇමතුම දුන්න පුද්ගලයා අදටත් රාජ්‍ය පරිපාලනයේ සක්‍රීය සේවයේ ඉන්න ජ්‍යේෂ්ඨයෙක්. ඔහු කියනවා, “මල්ලි අපිට අමුවට ලියන්න හිතෙනවා. හැබැයි හෙට ජොබ් එක තියලා යන්න වෙන්නේ. මුං මහ අසික්කිතයි. මුංගේ කල් ක්‍රියාව මෙහෙම නම් මේ රටේ අනාගතය ගැන අපි බය වෙන්න ඕන. මේ වගේ පීඩිත කාලයක් අපේ සර්විස් එක ඇතුලේ අත්දැකලා නෑ. සමන් සර්, මට කවදාවත් පෞද්ගලිකව උදව් කරලා නෑ. එයාගෙන් පෞද්ගලික උදව් ගත්ත රාජ්‍ය නිලධාරියෙක් මට හම්බවෙලත් නෑ. හැබැයි එයා රාජ්‍ය සේවයට, අපේ සර්විස් එකට ගෞරවයක් ලැබෙන්න වැඩ කරපු වෘත්තිකයෙක්. පෞද්ගලික උදව් නොලැබුවත් අපිට ඒ කාරණය කටක් ඇරලා කියන්න පුළුවන්. සමන් සර් රාජ්‍ය මුදල් අවභාවිතා කළා කියන එවුන් මේ රටට මොනවද කරලා තියෙන්නේ ? හැබැයි උන් කතා කරන්නේ නෑ, සමන් සර් මේ රටට ඉතුරු කරපු දේ ගැන. ඇයි මේ රටට, තමන් වැඩකළ ආයතන වලට කරපු සේවය හොයන්න බැරි ? මල්ලි, මුං ගැහුවේ සමන් ගේ අභිමානයට. සමන් සර්, රාජ්‍ය පරිපාලනයේ පහළ ඉඳන් ආපු කෙනෙක්. හැම තැනදීම රාජකාරිය අකුරට කරපු කෙනෙක්. ඒ වගේම මල්ලි සමන් සර් තීන්දු තීරණ ගන්නකොට කොච්චර සෘජු වුණාද කියලා. එතනදී දේශපාලනඥයන් තරහා වුණාද, නිලධාරීන් දාලා ගියාද කියලා අදාළ වුණේ නෑ. ගන්න ඕන තීන්දුව රට ගැන හිතලා, රාජ්‍ය සේවයේ ගෞරවය, වැදගත්කම ගැන හිතලා තමයි සමන් සර් වැඩ කළේ “
ඔන්න ඔහොම මිනිත්තු ගණනක් එක දිගට ඔහු කියාගෙන කියාගෙන ගියා. මේ හුඟදෙනෙක් සමන් ඒකනායක වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට නොහැකි වරදකාරී හෘද සාක්ෂියක සම කොටස්කරුවන් වගේ. හැබැයි සමන් ඒකනායක ගැන කියපු කතාව ඇත්ත. මමත් පසුගිය අවුරුදු දෙකක්, අටවන විධායක ජනාධිපතිගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස සමන් සර් සමඟ වැඩ කිරීමට සිදුවුණා.
මගේ පත්වීම් බලධාරියා ලෙස සමන් ඒකනායක සමඟ වැඩ කිරීමෙන්, ඔහුගේ අත්දැකීම්, ඔහුගේ ක්‍රියා කලාපය, ඔහුගේ හැසිරීමෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. එයින් අංක එකේ ප්‍රමුඛ දේ තමයි,”රාජ්‍ය මූල්‍ය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ කොහොමද ?” කියන එක. අවාසනාව කියන්නේ අද ඔහුට එයම හරහට ඉඳලා.
නමුත් මගේ අත්දැකීම අනුව ඇතැමුන් ඔහු සම්බන්ධව ගොඩනඟන තර්ක ඉතාම විහිළු සහගතයි සහ හිරිකිතයි. මම ඒ ගැන දීර්ඝව කියන්න යන්නේ නෑ. “යමෙකුගෙන් නිර්දය ලෙස පළිගන්න අවශ්‍ය වුණු වෙලාවට ඒ ගොදුරට ඉව අල්ලන ඔවුන් කොච්චර දුරට අමනයන් වෙන්න පුළුවන්ද ?” යන්න ඒ තර්ක දෙස බලන විට පැහැදිලි වෙනවා. මම ඊට වඩා ඒ ගැන කියන්න යන්නේ නෑ. මම මේ කියන්නේ නඩු කටයුත්ත ගැන නෙවෙයි. උත්තරීතර අධිකරණයට අපි කවදත් ගරු කරනවා. දිලීප පීරිස් වෙන්න පුළුවන් වෙනත් අයෙක් වෙන්නත් පුළුවන්, නමුත් අද සමන්ට ගල් ගසන පිරිසට වඩා, නීතියේ දෙවඟන ඉදිරියේ කටයුතු කරන යුක්තිය පසිඳලන විනිසුරු ප්‍රමුඛ අධිකරණය අපි විශ්වාස කරනවා. මෙතෙක් කලක් ලංකාවේ මොන දේශපාලන පක්ෂය බලයට ආවත්, ඒ ගැන මොන මොන කතා තිබුණත්, අධිකරණය සෑම විටම ස්වාධීනව යුක්තිය ඉටුකර තිබෙනවා. ඒ විශ්වාසය තවමත් අපිට තිබෙනවා. “අහවලාට මෙහෙම කරන්න, අහවලාට අරහෙම කරන්න” වගේ ඇමතුම් මත විනිශ්චය දෙන අධිකරණයක් අපිට නෑ. අපේ රට අදටත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වෙලා තියෙන්නේ අධිකරණයේ ගෞරවනීය විනිසුරුවරුන් ප්‍රමුඛ අධිකරණ පද්ධතිය පවත්වාගෙන යන ඒ ස්වාධීනත්වය නිසා බව මගේ පෞද්ගලික හැඟීමයි.
නමුත් බැලු බැල්මට පෙනෙනවා, මේ විමර්ශනය, දිලීප වගේම ශානිගේ CID ය වෙන මානයකට තල්ලු කරමින් සිටිනවා. පූසාට තම්බපු මාළු කතා එන්නේ ඒ නිසා. සමන් ඒකනායකව නිවාස අඩස්සියේ තියන්න නියෝග තිබුණේ නෑනේ. එතකොට ඒ පුද්ගලයා “කොහෙද හිටියේ ? ගෙවල් දාලා පැනලා ගියාද ?” වගේ නැරේෂන් එන්නේ ඒ නිසා.
වරෙන්තුවක්වත් නැති මනුස්සයෙකුට රටේ ඕන තැනක යන්න බැරිද ? ඕන තැනක ජීවත් වෙන්න බැරිද ? ඔහුට මානසික නිදහසක් ඕන නම්, විවේකයක් අවශ්‍ය නම්, කොහේ ගියත් කාටවත් මොකද ? ඥාතියෙක්, මිතුරෙක් හමුවෙන්න යන්න බැරිද ? මනුස්සයෙක්ගේ නිදහස් සංසරණය මේ රටේ කවදා ඉඳලාද වාරණය කරලා තියෙන්නේ ? එහෙම මනුස්සයෙක්ව ඉතාම නින්දිත සහ පහත් කතා වලින් අපකීර්තියට පත්කිරීම මම විශ්වාස කරන ආකාරයට “නීතිමය හපන්කමක්” වෙන්නෙත් නෑ. ඒ වගේම මිනිස්සුන්ව එහෙම ප්‍රසිද්ධියේ අවමානයට පත්කිරීම මොන සාධාරණයක් ද කියලා ප්‍රශ්න කරන්න අවශ්‍ය තැනට අද සමාජය පත්ව තිබෙනවා.
ඒ එක්කම අපි දැක්කා කියන්නේ Wolverhampton පෞද්ගලික විශ්වවිද්‍යාලයක්, ජනාධිපති හිටියේ බැල්කනියේ වගේ ගැලරි කතා. ඒ විතරක් නෙවෙයි, ඇතැම් මාධ්‍ය ” හිටපු ජනාධිපතිගේ එම සංචාරය “පෞද්ගලික” එකක් බව අධිකරණය මේ වන විටත් තීන්දු කර හමාරයි” වගේ කියමින් අතිශය නින්දිත සහ පෞද්ගලික දේශපාලන නැමියාවට අවශ්‍ය ආකාරයට අධිකරණ කටයුතු වාර්තා කර තිබුණා.
වඩාත් විහිළු සහගත කාරණය තමයි, ජනාධිපති මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පයෙක් කියන කෙනෙක් ස්ටේට්මන්ට් එකක් දීලා. මම ආරාධනා කරනවා ඔබට ඒ B වාර්තාව කියවන ලෙස. කවුද මාධ්‍ය කියන ඒ ඡායාරූප ශිල්පියා ? ඔහු තමයි වර්තමානයේ ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. මොන විහිළුවක්ද මේ ? ඔය හැමෝම පත්වීම් ලබන්නේ දේශපාලන ලබැඳියාව සමඟයි. නමුත් අපි වැඩ කරනකොට වෘත්තියභාවයකින් එය සිදුකළ යුතුයි. මෙතැනදී වෙලා තියෙන්නේ, වෘත්තීයභාවය පැත්තකට දාලා, දේශපාලනය ලබැඳියාව ගොඩනැගීමක්. මම හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස අභියෝග කරනවා, මෙතන වත්මන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තම වෘත්තීයභාවය පාවාදීලා තිබෙනවා. නමුත් අපි කිසිම දවසක වෘත්තීයභාවය පාවාදී හෝ දේශපාලන ගැතිකම මත වෘත්තීය අවභාවිතා කර නැහැ. ඒක අපි බොහොම අභිමානයෙන් කියනවා. පුළුවන් නම් කවුරු හෝ එයට අභියෝග කරනවා නම්, ඕන ප්‍රසිද්ධ තැනක ඊට පිළිතුරු දෙන්න අපි සූදානම්.
වත්මන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් ගන්නේ, “අනුරව ජනාධිපති කරන්න වේදිකාවේ කතා පවත්වා පසුව CID ප්‍රධානියා වුණු ශානි අබේසේකර. ඒ ප්‍රශ්න උත්තර ඇතුලේ ඔවුන් තීන්දු කරනවා, ජායාරූප හෝ වීඩියෝ නොමැති නිසා එය පෞද්ගලික සංචාරයක් කියලා. බලන්න මේ මිනිස්සු කොච්චර ප්‍රාථමිකද කියලා. උගත්, බුද්ධිමත්, ආචාර්ය මහාචාර්ය, ඇවිදින පුස්තකාල කියලා බලය ගත්ත මිනිස්සු මෙච්චර ප්‍රාථමික විදිහට හැසිරෙමින් ඉන්නවා.
මම විශ්වාස කරන ආකාරයට, මේ මිනිස්සු ඉස්සරහා සමන් ඒකනායක කියන්නේ යෝධයෙක්. ඔහු 2022 දී බිඳ වැටුණු මේ රටේ ආර්ථිකය ගොඩගන්න, තමන් දරන තනතුරේ වගේම මේ රටේ රාජ්‍ය සේවයේ ගෞරවය රකින්න අසීමාන්තිකව කැපවූ අයෙක්. මම දැකපු සමන් ඒකනායක කියන්නේ, ජනාධිපතිවරයා තම අසුනට එනවිට ඊට පෙර පැමිණ සිටින, ජනාධිපතිවරයා ගිය පසුව අවසානයට එයින් පිටත්වෙන අයෙක්. නිවසේ සිට කාර්යාලයට එන්න සහ ආපසු යන්න රජයේ නිල වාහනය භාවිතා නොකළ අයෙක්. ඔහු ඒ සඳහා භාවිතා කළේ ඔහුගේ පෞද්ගලික ඇක්වා වර්ගයේ මෝටර් රථය. හැබැයි ඒවා ඔය ප්‍රසිද්ධියේ වාහන ගන්නේ නෑ කියලා, නමුත් හොරෙන් වාහන භාවිතා කරන වර්තමාන උදවිය වගේ මාධ්‍යයෙන් ප්‍රචාරය කරන්න ගියේ නෑ. මොකද ඔහුගේ ස්වභාවයම එය නිසා. අමුතුවෙන් කියන්න දෙයක් එහි නොතිබූ නිසා.
අපි දන්නා බොහෝ දෙනෙක් රාජ්‍ය සේවයේදී උසස්වීමක් ලබපු ගමන් සුඛෝපභෝගී වාහනයක් හොයන්නේ. නමුත් සමන් ඒකනායක නිල රාජකාරි සඳහා නිල වාහනය භාවිතා කළා. මොකද ඔහු ජනාධිපති ලේකම්. එහෙමත් නැත්නම් අංක එකේ රාජ්‍ය සේවකයා. ඒ වෘත්තීය හෑල්ලු නොකර ඔහු ඊට නියමිත වාහනය භාවිතා කළා මිස කිසිදිනෙක අවභාවිතයක් කළ අයෙකු නෙවෙයි. තමන්ගේ කාර්ය මණ්ඩලයේ ඉන්නේ කවුද කියලා නම් ටික කියන්න බැරි, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේවත් එය පිටතට නොදෙන, වත්මන් ජනාධිපති ලේකම් දාපු පැමිණිල්ලකට අද සමන් ඒකනායක රාජ්‍ය මූල්‍ය අවභාවිතයක් ගැන චෝදනා ලබලා.
නමුත් මම ප්‍රසිද්ධියේ අභියෝග කරනවා, සමන් ඒකනායක කියන රාජ්‍ය සේවකයාගේ යටතේ හිටපු, සමන්ගේ සමකාලීනයන් වුණු හෝ සමන්ට ඉහළින් හිටපු ඕන නිලධාරියෙක් පුළුවන් නම් කියන්න, සමන් අහවල් දූෂණය සිදුකළා මෙන්න සාක්ෂි කියලා. ඒ කිසිම කෙනෙකුට ඒ චෝදනාව කරන්න බෑ. සමන් ඒකනායක කියන්නේ එහෙම මනුස්සයෙක් නෙමෙයි.
සමන් ඒකනායක කියන්නේ බොහෝ දේ වෙනස් කළ ජනාධිපති ලේකම්වරයෙක්. ඔහු ජනාධිපති ලේකම් වෙන්න පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ භොජනාගාරයෙන් ඕනෑම වෙලාවක කිරි තේ, කෝපි, පළතුරු ජූස්, ඕනෑම කෑමක් ගෙන්වා ගත හැකිව තිබුණා. සමන් ඒකනායක ජනාධිපති ලේකම් වුණාට පස්සේ ඒ සියල්ල නවතා දැම්මා. ආර්ථික අර්බුදය හමුවේ රැස්වීම් වල කෙටි ආහාර සහ කිරි තේ දීම නවතා “ප්ලේන් ටී” එකකට සීමා කළා. ඇමතිවරු, මන්ත්‍රීවරු, පෞද්ගලික අංශයෙන්, රජයේ නිලධාරීන් කවුරු ආවත් දුන්නේ “ප්ලේන් ටී” එකක් විතරයි. විදේශ රජතාන්ත්‍රිකයින් සහ දූත මණ්ඩල එන විට ඒ වෙනකොට පුරුද්දක් වශයෙන් කරගෙන ගිය කොළඹ හෝටල් වලින් ආහාර ඇනවුම් කිරීම නවතා කාර්යාලයේ භෝජනාගාරයේ ඒවා පිළියෙළ කිරීමෙන් විශාල මුදලක් ඉතිරි කළා. කොළඹින් පිට යන හැම වාහනයකටම ජනාධිපති ලේකම්ගෙන්ම අවසර ගන්න නියම කළා. කාර්යාලයේ සියලු අමතර වියදම් කපා හැරියා, ඉන්ධන ඇණවුම් මඟින් හැම ෂෙඩ් එකකින්ම ඉන්ධන ගහනකොට වෙන අක්‍රමිකතා හඳුනා ගෙන ඒක නවත්තලා ඉන්ධන කූපන් ක්‍රමය හඳුන්වා දී මාසික ඉන්ධන වියදම 30% පමණ අඩු කළා. ඔහු ජනාධිපති කාර්යාලයට එන විට ආරක්ෂක අංශ සහ ජනාධිපති කාර්යාලයේ විවිධ අංශ සඳහා ගොඩනැඟිලි 58ක් කුලී පදනමට භාවිතා වුණා. ඔහු එය 24ක් දක්වා අඩු කර රජයට විශාල කුලී වියදමක් ඉතිරි කළා. පෞද්ගලික අංශයෙන් ගත් ගොඩනැඟිලි වල ගිවිසුම් අවසන් කළා. අධික කුලී පදනමක් මත BMICHහි තිබූ සමහර කාර්යාල ඒවායෙන් සිදු වන රාජකාරියට හානියක් නොවන අයුරින් රාජ්‍ය ගොඩනැඟිලි වල ස්ථාපනය කරලා රජයට විශාල මුදලක් ඉතිරි කළා.
ඉතින් ඒ කටයුතු ගැන දැනසිටි ජීවමාන සාක්ෂිකරුවෙකු ලෙස ඔහු කිසිවිටෙක රාජ්‍ය මූල්‍ය අවභාවිත කළ අයෙකු ලෙස හිතන්න මට ඉඩක් නෑ. අපේම අත්දැකීමක් සිහිපත් කලොත් ජනාධිපති මාධ්‍ය ආවරණ කටයුත්තට යාපනයට යන්න වාහන හතරක් අවශ්‍ය බව දැනුම්දුන් විට ඔහු ඒ ගැන සවිස්තරාත්මකව කරුණු විමසනවා. ඒ සාකච්ඡාව අවසන් වෙන්නේ සමන් ඒකනායක ගේ උපදෙස් මත වාහන හතරක රාජකාරිය වාහන තුනෙන් කරන ආකාරය පෙන්වාදීමෙන්. නමුත් ඊට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ජනාධිපති මාධ්‍ය අංශය ගත්තොත් අත්දැකීම ඊට වෙනස් බව දන්නෝ දන්නවා. “රජයේ මුදල් තෑගි දීමට නොවේ”, “කාල බීල
සතුටින් ඉදපල්ල, මේවට මගෙන් අවසර නෑ” වගේ මගේ ඉල්ලීම් වලට දාල එවපු සටහන් කීපයකුත් මගෙ මතෙකට ආව.
ඔහු නිතර මතක් කල දෙයක් තමයි, රුපියලක් වියදම් කළත් හොඳට මතක තියාගන්න “මේක අන්තෙටම වැටුණු රටක්. ජනාධිපතිතුමා ඇවිත් ඉන්නේ සහ අපේ සේවය අවශ්‍යව තියෙන්නේ සැප ගන්න නෙවෙයි. මේ රට ගොඩගන්න. එහෙනම් හැම රුපියලකටම වටිනාකමක් තියෙනවා. අපි අවම පහසුකම් ඇතුලේ මේ වැඩේ කරමු. එහෙම වැඩ කරන්න බැරි ඕනම කෙනෙකුට යන්න පුළුවන්. පුළුවන් පිරිසත් එක්ක මේ වැඩේ කරමු” කියලා. මේ ලියන මොහොතේත් ඒ වචන මගේ මතකයට එනවා. ඒ විදිහට තමයි අපි බාරගන්නකොට PMD හි කාලයක් පවත්වාගෙන ආපු අනවශ්‍ය වියදම් කප්පාදු කරලා, ක්‍රියාවලිය කාර්යක්ෂම කරලා පසුගිය අවුරුදු දෙකහමාරක වගේ කාලයක් ඇතුලේ අපිටත් අද චෝදනා කිසිවක් නැතුව කොන්ද කෙලින් තියාගෙන මේ විදිහට නිදහසේ අකුරු කරන්න ලැබුණේ. ඔහුගේ ඒ ස්වභාවය තමයි ආණ්ඩු මාරුවෙනකොට රට දාලා මාරු වෙන්න අවශ්‍ය නොවුණු කාර්ය මණ්ඩලයක් අපට ඉතුරු වුණේ.
රාජ්‍ය මූල්‍ය සම්බන්ධ ඔහුගේ ඒ විනයට අපි හැමෝම ගරු කළා. ඇතැම් අවස්ථා කොතරම් දුෂ්කර වුවත් මා ඇතුළු මගේ කාර්ය මණ්ඩලය ඒ සියල්ල ඉවසා දරාගෙන අපේ රාජකාරිය ඉටුකළා. සතියේ දින හතම රාජකාරි කළත්, දිවා රාත්‍රී වෙනසක් නැතුව රාජකාරි කන්දක ගැට ගැසුණත්, අපි විධායක නිලධාරීන් සියළු දෙනා කැඳවා සමන් ඒකනායක දුන්න උපදෙස වුණේ, ” ගෙදරින් කෑම එක ගන්න. තේ බොන්න, කොළඹින් පිට රාජකාරී ගමන් වලට යායුතුද නැද්ද කියන අවසරය මගෙන් අරගෙන, ඒ අනුව තෙල් වියදම මගෙන්ම අනුමත කරගන්න පුලුවන්. එතනින් එහා තමුන්ල වෙනුවෙන් කිසිම වියදමක් මගෙන් අනුමත වෙන්නේ නෑ. විශේෂ අමුත්තෙකුට විශේෂ සංග්‍රහයක් කරන්න නම්, ඒ අවස්ථාව දැනුම් දෙන්න. ඒ වියදම් කරන්නේ කොහොමද කියලා ඒ අවස්ථාව අනුව තීරණය කරමු” එහෙම තමයි එදා සමන් ඒකනායක රාජකාරි කළේ. අතිකාල දීමනාවේ සිට සියළු වියදම් අංශ ඔහු සීමා කළා. ඔහුත් ඒ සීමා අනුවම රාජකාරි කරමින් ආදර්ශය දුන්නා. අපි සිදුකල විශේෂ කටයුතු වලදී පවා, නිදසුනක් ලෙස අවුරුදු උත්සවයක්, වෙසක් උත්සවයක් හෝ වෙනත් ඉසව්වක පවා රුපියලට වියදම් වාර්තා කැඳවන, විනිවිදභාවයෙන් එය සිදුකරන ආකාරය වගේම, ඒ සඳහා කිසිඳු අවස්ථාවක රාජ්‍ය මූල්‍ය භාවිතා නොකරන ඒ විනය ඔහු දැඩිව රැක ගත්තා. එය වචනයට සීමා නොකළ අනෙකාට යොදන සීමාව තමන් සම්බන්ධවද පවත්වාගත් ආදර්ශයක් වුණා.
ඒ කියන්නේ මම දන්න සමන් ඒකනායක, කිරි තේ එකේ සිට බිල්ඩිමේ කුලිය දක්වා අරපරිස්සම් කළ මනුස්සයෙක්. ඒ වගේම ප්‍රශ්නගතව තිබු ජනාධිපති අරමුදල ශක්තිමත් කරමින්, තිබු ප්‍රශ්න විසඳූ මනුස්සයෙක්. ජනාධිපති අරමුදල හරහා මිනිසුන් දස දහස් සුවය ලබන්න පහසුකම් සැලැස්සවූ මනුස්සයෙක්. නමුත් අද ඒ මනුස්සයට රාජ්‍ය මුදල් අවභාවිතා කළා කියලා, ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියලා පද හදමින් ඉන්නේ, අඩුම වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වෙන්නේ කුමන පණතින් කුමන බලයක් අනුවද කියලාවත් දන්නා බවක් පෙනෙන්න නෑ. එය පවා අතිශය විහිළු සහගතයි වගේම අප්‍රසන්නයි.
ඒ එක්කම ප්‍රස්තුත කාරණය දෙස මගේ දැනුමෙන් බැලුවොත්, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස කළේ නිල සංචාරයක transit වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම. ප්‍රතිපාදන වෙන් කිරීම යනු ගෙවීමක් නෙවෙයි. මේ ප්‍රතිපාදන වෙන් වන්නේ තවත් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙක් වන විදේශ අමාත්‍යංශයේ ලේකම්ට. ඉන්පසු තවත් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියෙක් වන බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේනට මහ කොමසාරිස් කාර්යාලයේ පරිපාලන හා කොන්සියුලර් අරුණ ප්‍රනාන්දුට, (ඇමති කොන්සියුලර් අරුණයි අතිරේක ලේකම් රෝෂනුයි එකම බැචාල වගේම පැලවත්ත අසමසම සහෝදරයෝ. මහකොමසාරිස් කාර්යාල වල මුදල් වගකීම තියෙන්නෙ කාටද කියල කියන්න ඕනෙ නෑනෙ) ප්‍රතිපාදන වෙන් කළ පලියට ගෙවීම් කරන්න බැරි බව රාජ්‍ය සේවයේ හැමෝම දන්නවා. රාජ්‍ය සේවයේදී නිසි ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග අනුගමනය කරලා, මුදල් රෙගුලාසි අනුව ගෙවීම් කරන්න අවශයි. මුදල් රෙගුලාසි 135(2)හි පැහැදිලිව සදහන් වෙනවා ප්‍රතිපාදන නිදහස් කළ පසු ගෙවීමේ දී වන වරදකට වගකිව යුත්තේ ගෙවීම කළ නිලධාරියා මිස ප්‍රතිපාදන වෙන කළ නිලධාරියා නොවන බව.
ජනාධිපති හා ජනාධිපති කාර්ය මණ්ඩලය, කතානායක හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, ඇමතිවරු, පාර්ලිමේන්තු මංත්‍රීවරු, රාජ්‍යසේවා කොමිසම ආදීන් ආයතන සංග්‍රහය අනුව රාජ්‍ය නිලධාරීන් ලෙස නොගැනේ. ආයතන සංග්‍රහයේ විධිවිධාන මොවුන්ට අදාල නෑ. සමන් පිළිබඳව අධිකරණයට CID ය ඉදිරිපත් කළ බී වාර්තාවේ ඇත්තේ ආයතන සංග්‍රහයේ xlvii පරිච්චේදයේ 5:3 හි රජයේ මුදල් පුද්ගලික කටයුතු වලට යොදා ගැනීම වරදක් සේ සඳහන් නිසා ජනාධිපතිගේ පුද්ගලික සංචාරයට රජයේ මුදල් වැයකිරීමට අනුමත කිරීම වරදක් බවයි. නමුත් ආයතන සංග්‍රහයේ අර්ථ නිරූපනය අනුව ජනාධිපති හෝ ජනාධිපති ලේකම්ට ආයතන සංග්‍රහය අදාල නෑ.
මහකොමසාරිස් කාර්යාලයේ පරිපාලන කොන්සියුලර් අරුණ ප්‍රනාන්දු සෘජුව ලබාගත හැකි සේවාවලට, පෞද්ගලික ආයතන හරහා සේවා ලබාගෙන විනිවිදභාවයක් හෝ වෙළෙඳපොළේ මිළ ගණන් පිළිබඳව තැකීමකින් තොරව කර ඇති වියදම් සඳහා (ඇත්තටම නැවතුන හෝටලයේ සහ taxi වලට යන වියදම් අවුරුදු දෙකකට පස්සෙ අදත් එච්චර නැති බව හරිම පැහැදිළියි) වගකිව යුතුව තිබියදී ඊට හිටපු ජනාධිපති ලේකම් විදිහට සමන් ඒකනායක වගකියන්න ඕනද ?
ඒ වගේම විධායක ජනාධිපති ධූරයට පත්වන්නේ තේරීමෙන් (Elected). එම ධූරය දරන්නා සමගාමීව සේනා විධායක ධූරයද දරනවා. සේනා විධායක ත්‍රිවිධ හමුවට අණ දීමේ බලයත්, සමස්ත ජාතික ආරක්ෂාවට අණ දීමේ බලයත් තිබෙන තනතුරක.
මෙය ඔහුට ලැබෙනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන තුළින් දිවුරුම්දීමත් සමගයි. ඒ අනුව සමස්ත ජාතික ආරක්ෂාව සහ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක අණදීමට සූදානමින් සිටිය යුතුයි. ඒ සඳහා ස්ථානීය කොන්දේසි නැත (On call). එම පදනම යටතේ ජනාධිපතිවරයාගේ කාරය සහ කර්තව්‍ය ඉටුකිරීම අඛණ්ඩව, සීමා විරහිතව සමස්ත කාලය තුළම ක්‍රියාත්මක විය යුතුයි. (පැය 24/365 දින) මෙම පදනම යටතේ පෞද්ගලික හෝ රාජකාරි වශයෙන් ජනාධිපතිවරයා ලෙස පෙනී සිටීම බෙදා වෙන්කළ නොහැකියි.
මේ අනුව මෙම පදනමෙන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙහි ඇති වියදම් අයිතමය සකසා තිබෙනවා.
ඒ වගේම මේ පදනම මත රජයේ මුදල් අවභාවිතා චෝදනාවක් සැකසීම සඳහා සෘජු හෝ වක්‍ර පදනමක් නෑ. ජනාධිපතිවරයා සහභාගී වී ඇත්තේ තම බිරිඳවන ආර්යාවගේ උපාධි ප්‍රධාන උත්සවයකටයි.
එයට සහභාගීවන අවස්ථාවේදී ඔහු දරනා ජනාධිපති තනතුරෙහි කාර්ය කර්තව්‍ය හා විශේෂයෙන්ම සේනා විධායක තනතුරෙහි රාජකාරිමය අවශ්‍යතාවය සහ පෙනී සිටීම අත් හල නොහැකියි. මේ පදනම මත එම අවස්තාවේ වුවද ඔහු රාජකාරිය සඳහා සූදානම් (On call) තත්ත්වයේ ලා සලකනවා. ඒ පදනම යටතේ පෞද්ගලික අවස්ථාවක වුවද ජනාධිපතිවරයාගේ පෙනීසිටීම රාජ්‍ය හෝ පෞද්ගලික ලෙස වෙන්කළ නොහැකියි.
මෙම ඉහත පදනම් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වල ජනාධිපතිවරයාගේ කාර්ය කර්තව්‍ය ඉටුකිරීමේදී නිශ්චිත ක්‍රියාමාර්ගයක් (Dueprocess) ව්‍යවස්ථාවෙන්ම සඳහන්ව තිබිය යුතුයි. නැත්නම් ඒ සඳහා විශේෂ නීතියක් සම්මත වී තිබිය යුතුයි. මෙම තත්ත්වය යටතේ ව්‍යවස්ථාවට පහළින් ඇති පනත් වලින් විශේෂයෙන් සඳහන් කර නොමැති නම් මිස එම පනත් යටතේ චෝදනා ගොනු කිරීමට කිසිම පදනමක් නෑ නේද ?
මේ ප්‍රශ්න මට තියෙනවා.
මේවා ගැන නොදැන උසාවිය ඇතුලේ කතා ටිකක්, සම්පූර්ණ මාධ්‍ය ජවනිකාවක් කරගෙන ජනප්‍රිය තලයේ වචන ටිකක් සමඟ මනුස්සයෙකුට නින්දා අවමන් කරමින් ඉන්නවා. ඒ සමඟ ඇසිය යුතු තවත් කතාවක් තිබෙනවා. ඒ තමයි, හිටපු ජනාධිපතිවරයාට සමඟ තමන්ට ද ලැබුණු නිල ආරාධනා පත්‍රය ගැන කියන්න බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේනගේ කොන්ද නැවෙන්නේ නැත්තේ ? මේ උත්සවයෙ දිවා ආහරයට ආරාධනාවක් තිබ්බෙ නැත්ද? එම අවස්ථාවෙ ජනාධිපතිතුමා සම්භාවනීය ආරාධිතයන් අමතමින් කතාවක් කලාද? නැද්ද? ඔතන සරෝජාට මම දන්න තරමින් පෞද්ගලික කාරණයක් තියෙනවා. සරෝජා කියන්නේ කවුද කියලා විදෙස් සේවයේ නොදන්නා කෙනෙක් නැති තරම්… ඒ වගේම අපිට මේ කාරණේදී සරෝජා, අරුණ වගේම හිරුණි රාජපක්ෂවත් අමතක කරන්න බැහැ. හිරුණිගේ සම්බන්ධීකරණය ගැන විවාදයක් නැහැ. ගමන පිළිඹදව ඊමේල් සන්නිවේදනයත් හොඳයි. හැබැයි මේ හැමදේම කරල දන්නෙ නෑ කියන එක මාරයි නේ.
කොහොම නමුත් අවසානයේ මේ තුළින් මේ රටේ ආත්ම අභිමානය රකින්න වැඩ කල තවත් සුවිශේෂ රාජ්‍ය නිලධාරියෙකුට වෙන පහරදීම, අනාගතයේ තවත් නිලධාරියෙකුට ද නොවෙනවා කියන්න ඇති සහතිකය මොකක්ද ? කොපමණ හොඳින්, අවංකව, “පොදු 35”, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, ආයතන සංග්‍රහය, AR FR බලලා කොහොම තීන්දු තීරණ ගත්තත් හිතේ චකිතයක් රාජ්‍ය සේවකයාට එන්නේ නැද්ද “මම මේකට අත්සන් කරලා මේ ආණ්ඩුවට පස්සේ එන ආණ්ඩුවක් ආවහම, එහි කාට හෝ මා සමඟ පෞද්ගලික වෛරයක් තිබුණොත් මට මොනවා වෙයිද ?” කියලා. පොඩි ගොට්ටෙක් වෙන්න පුළුවන් පොඩි හෙංචයියෙක් වෙන්න පුළුවන් ඔහුට පුළුවන් තමන්ව හිරේ දාන්න වෙන තැනට file එක හදන්න. ඒ වගේම ඇත්ත file වල තියෙන පිටු අතුරුදහන් කරන්න. ඒ බය වත්මන් රාජ්‍ය සේවකයාට එන්නේ නැද්ද ?
දැන් අහන්න වෙන ප්‍රශ්නය තමයි, මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන විදිහ මේකද ? මේකද ක්‍රමවෙනස කියන්නේ ? මේ යන්නේ ශිෂ්ටසම්පන්න සමාජයක් වෙතද ? නැත්නම් වෛරයේ, පළිගැනීමේ ඒ වෙනුවෙන් ඕනෑම නරුම ක්‍රියාවක් කිරීමේ අශිෂ්ට සමාජයක් දෙසටද ? ඒ ගැන මේ රටේ මිනිස්සු බුද්ධියෙන් විමසා බලන්න ඕන නැද්ද ?
ඒ විතරක් නෙවෙයි, මම දැක්ක සමන් ඒකනායක ජනාධිපති ලේකම් ලෙස සෑම මාසයකම වරුවක් වෙන්කරගෙන සියලු අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවා ප්‍රගති සමාලෝචන සිදුකරනවා. වත්මන් ආණ්ඩුවේ පවා ඒ ඇතැම් ලේකම්වරුන් ඉන්නවා. ඔවුන් සාක්ෂිදරයි කොහොමද සමන් වැඩ කළේ ? කොහොමද තීන්දු තීරණ ගත්තේ ? කොහොමද වාද විවාද කෙළේ ? කොහොමද ඇගයීම දුන්නේ ? කොහොමද අඩුපාඩු පෙන්වා දුන්නේ ? කියලා. සමහර දවස් තිබුණා ඒ සමහර ලේකම්වරුන් සාකච්ඡා කාමරයෙන් එළියට ආවේ මුහුණ මැලවිලා. දුර්වල නිසා හෝ කුමන හෝ හේතුවක් මත රාජකාරිය නිසි ලෙස කරගන්න අසමත්වුවන් සතුටින් නොයින්න ඇති. සමහරු ඒ ගැන අදටත් තරහින් ඇති. නමුත් නමුත් රට ඉදිරියට ගියා. රජයේ අපේක්ෂිත ඉලක්ක වලට අමාත්‍යංශ වැඩ කළා. අද මේ රට මෙතන තියෙන්න සමන් ඒකනායකගේ ඒ කැපවීමත් ඉවහල් වුණා නොකිව්වොත් ඒක කුහකකමක්.
ඒ වගේම තමයි දේශපාලනඥයකුගේ ඉල්ලීමක් වෙන්න පුළුවන්. ඔහු කවර තරාතිරමක හිටියත්, සමන් ඒකනායක ළඟට එන ඉල්ලීමකදී එය රාජකාරි වපසරිය ඇතුලේ සිදුකළ හැකි නම්, එය නීත්‍යානුකුල නම් ඔහු එය සිදුකර දුන්නා. නමුත් එය ඉටුකළ නොහැකි නම්, එහි කුමනාකාරයේ හෝ අඩුවක්, වරදක් ඇත්නම්, “සමාවෙන්න..සර්.. මට ඒක කරන්න බෑ” කියන ඒ පෞරුෂය සමන් ඒකනායක තුළින් අපි දැක්කා. ඔහු එජාපයේ වෙන්න පුළුවන්, එහි ප්‍රබලයකු වෙන්න පුළුවන්, තරාතිරම නෙවෙයි වැදගත් වුණේ, එහි හරි හෝ වැරැද්ද ගැනයි. එය රාජ්‍ය සේවයේ බොහොම කලාතුරකින් දකින්න ලැබෙන නිලධාරී පෞරුෂයක්.
එහෙම රාජකාරී කළ, රාජකාරියේදී ඒ සම්බන්ධව ජීවමාන සාක්ෂිකාරයකු වන මට “සමන් ඒකනායක” දුෂිතයෙක්, එවැන්නකට අනුබල දුන් අයෙක් ලෙස කොහෙත්ම විශ්වාස කල නොහැකි ඒකයි. ඒ ගැන ජීවමාන සාක්ෂිකරුවන් රැසක් අදටත් රාජ්‍යසේවයේ ඉන්නවා. මම පෞද්ගලිකව දන්නවා ඔබට මේ මොහොතේ සමන් ඒකනායක වෙනුවෙන් ලියන්න බෑ. සමාජ මාධ්‍ය සටහනක් හෝ තියන්න ඒ නිදහස මේ ආණ්ඩුවෙන් ඔබට නෑ. ඔබට ප්‍රසිද්ධියේ කතා කරන්න බෑ. ඒ භීෂණය ගැන අවබෝධයක් අපට තියෙනවා. මෑතකදි නිවාඩු දවසක මාව මුණගැසී කතා කිරීම හේතුවෙන් PMD නිළධාරීන් දෙදෙනෙකුට දිනක් ඇතුළත ස්ථාන මාරුවීම් ලැබුණ. එහෙම බලද්දි ඔබේ ඒ බය, අසරණ බව සාධාරණය. තමන්ගේ හිටපු ප්‍රධානියෙක් ගැන, ලියන්න කියන්න ගිහින් ඔබ දරුණු පළිගැනීමකට ලක්වෙන්න පුළුවන්. අභූත චෝදනාවකට ලක්වෙන්නත් පුළුවන්. රැකියාව අහිමි කරගෙන හිරේ විලංගුවේ වැටෙන්න පවා පුළුවන්.
නමුත් ඔබ ඇතුලේ අභ්‍යන්තර සාකච්ඡාවක් පටන් ගන්න පුළුවන්. සමීපතම සහ විශ්වාසනීය සගයා සමඟ සාකච්ඡා කරන්න පුළුවන්. මොකද දඩයම නම් කර, ඒ වෙනුවෙන් ඉලක්කය සකස්කර, ඔබව තනිකර සිදුවන මේ මර්දනය හෙට ඔබටත් එන්න පුළුවන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මේ සිදුවන්නේ හුදෙක් සමන් ඒකනායක නම් පුද්ගලයා දඩයම් කිරීමක් පමණක් නෙවෙයි. මේ පහර දෙන්නේ, තවත් ගොදුරක් දඩයම් කිරීම වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ සමන් ඒකනායක රැකගත් රාජ්‍ය සේවයේ අභිමානයට සහ වෘත්තීය ගරුත්වයටයි. අද සමන් ඒකනායක දෙස බලා හිනැහෙන හෝ බියෙන් ගැහෙන කාට කාටත් මා මතක් කර දෙන්නේ එකම දෙයක්. ඒ “දඩයම්කරුවන් වෙනස් වුවද, දඩයම සැමදා එකම” යි.
ඔබ අද නිහඬව සිටින්නේ නම්, හෙට දිනයේ ඔබේ අවංකභාවය දේශපාලන පූජාසනයක් මත බිලි දෙන විට ඔබ වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙකු ඉතිරි නොවනු ඇති බවයි.
රාජ්‍ය සේවයේ පමණක් නෙවෙයි සෑම අංශයකම මේ අවධානම මතුවෙමින් තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රබලයාට එක නීතියක් අනෙක් ඕනෑම පුරවැසියෙකුට පොදු නීතියක් ක්‍රියාත්මක බව අපි දිනපතා අත්දකිමින් සිටිනවා. ජනතාව ඒ ගැන දැන් අත්දැකීමෙන් තහවුරු කරගනිමින් ඉන්නවා. ඒ නිසා ජනතාව වෙනස් වෙන්න තීරණය කර තිබෙනවා. රැල්ල ආපසු හැරෙන වග දකින පාලකයන් වැඩි වැඩියෙන් වියරු වැටෙමින් සිටිනවා. නමුත් ඒ වියරුව කොතරම් බලවත් වුණත් බහුතර ජනතාවගේ භෞතික සිරුරු පෙළගැස්ම ඉදිරියේ පරාජය කර ඇති බවට ලෝක ඉතිහාසයම සාක්ෂි දරනවා. අන්න ඒ දවස වැඩි ඈතක නෑ. සමන් ඒකනායක ද මේ මොහොතේ වැඩබැරි පාලකයන් සිය නොහැකියාව වසා ගැනීමට, සිය නිරුවත වසා ගැනීමට ඔබගේ බුද්ධියට නිගා කරවන කඩතුරාව ලෙස යොදාගන්නා නින්දිත උත්සාහයක් හමුවේ අපි සිටිනවා. නමුත් සත්‍ය තාවකාලිකව යටපත් කළත් එය සඟවන්න බෑ. සඟවන්න උත්සාහ කරන සෑම මොහොතකම එය ඊට සමාන හෝ ඇතැම්විට නොසිතූ බලයකින් යුතුව සත්‍ය නිරාවරණය වෙනවා. සමන් ඒකනායක සම්බන්ධ මේ අභූත චෝදනාවටද ඒ ඉරණම අත්වන බව මා විශ්වාස කරනවා. එතෙක්, වියරු වැටුණු දේශපාලන මඩගොහොරුව මැද, වෘත්තීය ගරුත්වය වෙනුවෙන් කොන්ද කෙලින් තබාගෙන සිටි ඒ අවංක, අභිමානවත් “රාජ්‍ය සේවකයා” වෙනුවෙන් මේ අකුරු සාක්ෂි දරයි.
ධනුෂ්ක රාමනායක
02.02.2026
